සාම සංග්‍රාමය සාර්ථකව අවසන් කළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක සාමාජිකයන් ‘ගම්පෙරළිය‘ වැඩසටහන හරහා සංවර්ධන සංග්‍රාමයට එක් කර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.


විනයක් සහිතව, කැපවීමෙන් සිය කාර්ය ඉටුකරන ඔවුන් මේ සංග්‍රාමය ද සාර්ථකව අවසන් කරනු ඇතැයි ඇමැතිවරයා පෙන්වා දෙයි.
මංගල සමරවීර ඇමැතිවරයා මේ බව කියා සිටියේ ‘ගම්පෙරළිය‘ සංවර්ධන සංග්‍රාමයේ සමාරම්භක පියවර තැබෙන මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දැනුම්වත් කිරීමේ වැඩසටහනට එක් වෙමිනි. ‘ගම්පෙරළිය‘ වැඩසටහන ලබන සිකුරාදා (22) ආරම්භ වීමට නියමිත අතර, එහි පළමු සංවර්ධන ප්‍රදර්ශනය අගෝස්තු මස 16 වැනි දා මොණරාගල දී පැවැත්වීමට නියමිතය. මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති උත්සවය අමතමින් ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.
වෙල්ලස්ස සටනට වසර දෙසීයක් සම්පූර්ණ වෙන මේ වසරේ දී ඌව පළාතෙන්ම මේ කටයුත්ත ආරම්භ කිරීමට ලැබීම සතුටට කරුණකි. එම සටනට වසර දෙසීයක් සපිරෙන මේ වසරේ දී ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමය මඟින් මොණරාගල දිස්ත්‍රික්කය 21 වැනි සියවසට අවශ්‍ය ලෙස සංවර්ධන කළ යුතුය.
2018 අය වැයෙන් යෝජනා වූ පරිදි එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා සියලු කටයුතු සිදු වෙමින් පවතී. මේ යටතේ සිදුවන්නේ එදා ඈත අතීතයේ පැවැති ශ්‍රී ලංකාවමෙන් ව්‍යාවසායකන්ගේ පරාදීසයක් බවට මේ දිවයින පත් කිරීමයි. ඊට අවශ්‍ය ජානමය හැකියාව අප තුළ තිබේ. 2020 වන විට ගම් මට්ටමින් ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීම ආණ්ඩුවේ අපේක්ෂාවයි. ඒ පිළිබඳ ග්‍රාමීය ජනතාව දැනුවත් කිරීම සහ 2025 සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ ජනතාවට දැනුවත් කිරීම සඳහා ‘ගම්පෙරළිය‘ මහා ප්‍රදර්ශනයේ අරමුණයි.
මෙහි සමාරම්භක පියවර සඳහා මොණරාගල දිස්ත්‍රික්කය තෝරා ගැනීමට ලැබීම සතුටට කරුණකි. ශ්‍රී ලංකාවේ සමස්ත දිළිඳු බව 6.4%ක පවතිද්දී මොණරාගල දිස්ත්‍රික්කය තුළ දිළිඳු බව 20.8%ක මට්ටමේ පවතියි. එබැවින් මේ වැඩසහටන ආරම්භ කිරීම සඳහා සුදුසුම ප්‍රදේශය මෙය බව මාගේ හැගීමයි. මේ යටතේ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් එක් ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 200ක මුදලක් වෙන් කෙරේ. ඒ අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 වෙනුවෙන් රුපියල් බිලියන 2.2ක මුදලක් වෙන් කර ඇත.
ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය, විදුලිය ලබාදීම, හරිත උද්‍යානයක් නිර්මාණය කිරීම, වැව් අමුණු ප්‍රතිසංස්කරණය, පාසල් ප්‍රතිසංස්කරණය ඇතුළු සංවර්ධන කටයුතු රැසක් මේ යටතේ සිදු කෙරේ. මේ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත සෘජුව මුදල් ලබා දීමට නියමිත ය.
මේ කටයුතු සඳහා ආරක්ෂක අංශවල උපරිම සහාය ලබා දීමට හමුදාපතිවරුන් එකඟත්වය පළ කර ඇත. ඒ අනුව සාම සංග්‍රාමය සාර්ථකවය අවසන් කළ ඔවුන් සංවර්ධන සංග්‍රාමයට ද දායක වීමට නියමිතයි.
මීට සුළු මොහොතකට පෙර අපි දැන ගත්තා දිස්ත්‍රික්කයේ සංඛ්‍යා ලේඛනවලට අනුව වැසිකිළි පහසුකම් නොමැති නිවාස 25,000ක් ඇති බව අනාවරණ විය. ඒ අනුව මම සතුටින් කියන්න කැමැති මුදල් අමාත්‍යාංශ ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා කියා සිටියේ වැසිකිළි ඉදිකර ගැනීම සඳහා වන රුපියල් මිලියන 500ක මුදල ලබා දිය හැකි බවයි. ඒ අනුව අගෝස්තු මස මේ ප්‍රදර්ශනය පැවැත්වෙන අවස්ථාව වන විට දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවට සනීපාරක්ෂක පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙස ද ඇමැතිවරයා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
රංජිත් මද්දුමබණ්ඩාර, විජිත් විජයමුණි සොයිසා, ඌව පළාත් ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් වන චන්ද්‍රා ඒකනායක, ඒ.ආර්. දේශප්‍රිය සහ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වූහ.
අමැතිවරයා ඇතුළු පිරිස මේ උත්සවයෙන් අනතුරුව ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත භූමියේ, ශ්‍රී පාද පුරා විද්‍යා රක්ෂිතයේ සහ ගලබැද්ද බිසෝ පොකුණේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වූහ.