ත‍්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටු වන්නේ ජාතීන් වශයෙන් බෙදී වෙන් වී එකිනෙකා අතර ගැටුම් ඇතිකර ගැනීමෙන් බව ජනාධිපතිතුමා පවසයි.

රට කැඞීමේ ත‍්‍රස්ත අරමුණු ඉටුකර ගැනීමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිතුමා සියලූ ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටියේ අද (17) පස්වරුවේ ගාල්ල, හික්කඩුව, තොටගමුව පුරාණ රත්පත් රාජමහා විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් මහෝත්සවය අමතමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ 21 වන දා ප‍්‍රහාරය අපේ රටේ ප‍්‍රශ්නයක් නොව ජාත්‍යන්තරයේ ප‍්‍රශ්නයක් බවයි. එය අපේ රටේ ප‍්‍රශ්නයක් බවට පත්කරගනිමින් කටයුතු කිරීමට ජනතාව පෙළඹුණහොත් ඒ තුළින් රටක් වශයෙන් මුහුණදීමට සිදුවන අසීරුතාවය ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා අවධාරණය කළේ තමාට කුමන ආකාරයේ චෝදනා එල්ල කළද 21 වනදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙනුත්, එම ත‍්‍රස්ත ප‍්‍රහාරය හමුවේ නැඟී සිටිමින් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහාත් ගතහැකි සෑම පියවරක්ම තමා ගත් බවයි.

සත්‍ය ගමන් කරන්නේ ඉතා සෙමෙන් වන අතර අසත්‍ය ඉතා වේගයෙන් ගමන් කරන බව කියා සිටි ජනාධිපතිතුමා කුමන අභියෝග හමුවේ වුව ද ත‍්‍රස්තවාදය රටෙන් තුරන් කර දැමීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව අවධාරණය කළේය.

සමානාත්මතාවය, සමාජ සාධාරණත්වය සහ සියලු සත්ත්වයන්ට ආදරය, සෙනෙහස දැක්වීම පිළිබඳ බෞද්ධ දර්ශනය තුළින් මනා ම`ගපෙන්වීමක් සිදුකරන අතර, කිසිඳු අධ්‍යාත්මික දර්ශනයක් තුළ මිනිසුන් මැරීමට උගන්වා නොමැති බව ද ජනාධිපතිතුමා මෙහි දී ස`දහන් කළේය.

මෙරට විසු අසමසම කවීන්ද්‍රයාණන් වහන්සේ ලෙස සැලැකෙන ෂඞ්භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ‍්‍රී රාහුල සංඝරාජ මාහිමිපාණන් වහන්සේ වැඩ විසු පුණ්‍ය භූමිය වන තොටුගමුව පුරාණ රත්පත් රජමහා විහාරය කේන්ද්‍රකර ගෙන අධ්‍යාත්මික සංවර්ධනයට මුල්තැන දෙමින් රාජ්‍ය වෙසක් මහෝත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණී.

අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත ව ආශිර්වාද ලබා ගත්තේය.

තොටුගමුව පුරාණ රත්පත් රජමහා විහාරය පූජා නගරයක් බවට පත් කිරීමට අදාළ සමරු ඵලකය ද ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි.

අනතුරුව පැවති උත්සව සභාවේ දී ඊට අදාළ ඔප්පුව සහ සන්නස් පත‍්‍රය ජනාධිපතිතුමා අතින් විහාරාධිපති හිමිවරුන් තිදෙනා වෙත පිළිගැන්විණි.

විහාරස්ථාන සහ දහම් පාසල් සඳහා මුල්‍යාධාර ලබාදීම, සාමණේර උපසම්පදා සහතිකපත් ප‍්‍රාදේශීය කාර්යාල මගින් නිදහස් කිරීම සංකේතවත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

බුද්ධ ශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය ආචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද නායක ස්වාමින් ප‍්‍රමුඛ ත්‍රෛනිකායික ගරුතර මහා සංඝරත්නය ද බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, අර්ජුන රණතුංග, දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන්, හිටපු ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, ගාල්ල දිස්ති‍්‍රක් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ඓතිහාසික සීනිගම දෙවොල් මහා දේවාල පරිශ‍්‍රයේ ඉදිකෙරුණු අභිනව ධාතු මන්දිරය අද (17) පෙරවරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

අභිනව ධාතු මන්දිරය විවෘත කළ ජනාධිපතිතුමා එහි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ වෙත පළමු පුෂ්පෝපහාරය සිදු කළේය.

අනතුරුව අභිනව ධාතු මන්දිරයේ සර්වඥ ධාතුන් වහන්සේ සහිත කර`ඩුව තැන්පත් කළ ජනාධිපතිතුමා එම ධාතුන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් දේවාල පරිශ‍්‍රයේ පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, වජිර අබේවර්ධන, දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්, හිටපු ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ද සීනිගම, දෙවොල් මහා දේවාලයේ භාරකාර සරත් දිසෙන්තුවාහන්දි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.