වර්ෂා කාලවලදී මතු විය හැකි රෝග ද බොහෝය. ඉන් ඩෙංගු ප්‍රධාන ස්ථානයක් ගනී. කොරෝනා වසංගතය පිළිබඳ පමණක් සිතා මාරාන්තික ඩෙංගු රෝගය අමතක කළ යුතු නොවේ. පසුගිය කාලයේදී ඩෙංගු මදුරුවා ද මිනිස් ජීවිත බොහොමයක්ම බිලි ගත් බව මතක තබා ගත යුතුය. තව ද ගංවතුර තත්ත්වයක දී ඇති විය හැකි තවත් රෝග ගණනාවක් තිබේ. එනම් ගංගා, ඇළ, දොළවල පිටාර ජලය හා අපද්‍රව්‍ය, මඩ ස්පර්ශ වීම නිසා සමේ විවිධ ආසාදන තත්ත්ව ඇති වීමය.

කොරෝනා වසංගතය හේතුවෙන් විටින් විට රට වසා දැමීමට සිදු වූයේ මෙරට ජනයා ඉන් බේරා ගැනීම සඳහා ය. වසා දැමුුණු රට යළි සම්පූර්ණයෙන් විවෘත කෙරුණේ රටේ ආර්ථිකය නංවාලීම සඳහාත් ජනතාවගේ ජීවිතවලට සහනයක් සැලසීම සඳහාත්ය . දැන් රටේ පාසල්වල ඉහළ ශ්‍රේණිවල දරුවන්ට ද යළි පාසල් යෑමට වරම් ලැබිණි. එහෙත් ජනතාව මේ ආකාරයෙන් සිය ජන ජීවිත ආරම්භ කිරීමට සැරසුණ ද මේ දිනවල පවතින වර්ෂාව ඊට හරස් වී තිබේ. නිරිත දිග මෝසම් වර්ෂාවේ අවසාන අදියර වන ඔක්තෝබර් නොවැම්බර් මාස දක්වා පවතින වර්ෂාව තදින් ක්‍රියාත්මක වෙමින් තිබේ.

නිරිතදිග හා ඊසානදිග මෝසම්

ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබෙන්නේ සංවහන, මෝසම් සහ වාසුළි මඟිනි. ඒ අතර ප්‍රධාන මෝසම් වැසි වර්ග 2කි. එනම් නිරිත දිග මෝසම් වැසි සහ ඊසාන දිග මෝසම් වැසි ලෙසිනි. ඉන් ශ්‍රී ලංකාවට වැඩි වර්ෂාපතනයක් ලැබෙනුයේ නිරිතදිග මෝසම් වැසි මඟිනි. මෝසමක් ආරම්භයේ දී හා අවසානයේ දී වැසි තත්ත්වයේ වැඩි වීමක් දක්නට ලැබේ. මේ දිනවල පවතිනුයේ එවන් තත්ත්වයකි.

මෙම කාලයේ දී සුළඟේ වේගය වැඩි වීමක් දක්නට ලැබේ. වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්වල මෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ලෙස දැක්වෙන කෑගල්ල, රත්නපුර, අවිස්සාවේල්ල, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ද තද වැසි, තද සුළං තත්ත්වයන් ඇති වේ. සාමාන්‍යයෙන් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වුව ද ඇතැම් අවස්ථාවන්වල දී වැස්ස සමඟ එය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යයි. සුළඟේ වේගය වැඩි අවස්ථාවන්හි දී ගස්වල අතු කඩා වැටීම, වහල ගැලවී යෑම් ඇති විය හැකි බැවින් ජනතාව ඒ පිළිබඳ ව සුපරික්ෂාකාරී ලෙස සිටිය යුතුය. මෙම මෝසම් තත්ත්වය යටතේ ක්ෂණිකව ඉතා සීමිත ස්ථානයකට හෝ සීමිත ප්‍රදේශයකට හෝ තද සුළං ඇති විය හැකිය. එමෙන්ම වැසි සමඟ අකුණු සර ඇති වීම ද වැසි වැඩි වීමෙන් නායයෑම් වැනි අනතුරු ද සිදු විය හැකිය. විශේෂයෙන් කඳු ආශ්‍රිතව ජීවත් වන ජනතාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් සිටිය යුතුය. නායයෑම් අනතුරු සංඥා පිළිබඳ මනා අවධානයෙන් සිට එම අනතුරු ඇඟවීම්වලට සවන් දී ඒ පිළිබඳ නිසි පියවර ගත යුතු වේ. තාවකාලිකව තම නිවෙස්වලින් පිට වී ආරක්ෂිත ස්ථාන කරා යෑම කළ යුතු වේ. වර්ෂාව පවතින ප්‍රදේශවලට ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරනුයේ දින ගණනක් තිස්සේ පොළොව යට ඇති තෙත් ගතිය පැවතීමෙන් පොළොව යට දිය උල්පත් මතු වී, ගස්වල මුල් දිය වීමෙන් නායයෑම් ඇති විය හැකි බැවිනි.

ආපදා කළමනාකරණ කමිටු

සියලුම ආපදා කළමනාකරණ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම හා ඊට අදාළ සම්බන්ධීකරණ කටයුතු සඳහා පහසුකම් සැපයීම සඳහා දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් රට පුරා ආපදා කළමනාකරණ කමිටු පිහිටුවා තිබේ. එමෙන්ම, උප ජාතික මට්ටමෙන් ආපදා අවදානම් අවම කිරීමේ ක්‍රියාකාරකම් පවත්වාගෙන යෑම සඳහා සියලුම දිස්ත්‍රික්කවල, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක ද (DDMCU) පිහිටුවා තිබේ. එම නිසා ගංගා ආශ්‍රිතව ජීවත් වන ජනතාව මෙන්ම නායයෑම් අනතුරු සිදු විය හැකි ප්‍රදේශවල ජීවත් වන ජනතාව පූර්ව ආපදා කළමනාකරණ අනතුරු ඇඟවීම්වලට හොඳින් කන් දිය යුතුය. පෙර වසරවල දී ද නායයෑම් අනතුරු මෙන්ම ගංවතුර අනතුරු ද මෙරට තුළ වාර්තා වූ බැවින් මෙම වසරේ දී එම අනතුරු වළක්වා ගැනීම සඳහා පූර්ව සූදානමකින් සිටිය යුතු වේ. වේලාසන කරනු ලබන දැනුම් දීම්වලට කන් දී ඊට අනුකූලව කටයුතු කළ යුතුය.

ඩෙංගු රෝගය

එමෙන්ම මෙවැනි වර්ෂා කාලවල දී මතු විය හැකි රෝග ද බොහෝය. ඉන් ඩෙංගු රෝගය ප්‍රධාන ස්ථානයක් ගනී. කොරෝනා වසංගතය පිළිබඳ පමණක් සිතා මාරාන්තික ඩෙංගු රෝගය අමතක කළ යුතු නොවේ. පසුගිය කාලයේ දී ඩෙංගු මදුරුවා ද මිනිස් ජීවිත බොහොමයක්ම බිලි ගත් බව මතක තබා ගත යුතුය. තවද ගංවතුර තත්ත්වයක දී ඇති විය හැකි තවත් රෝග ගණනාවක් තිබේ. එනම් ගංගා, ඇළ, දොළවල පිටාර ජලය හා අපද්‍රව්‍ය, මඩ ස්පර්ශ වීම නිසා සමේ විවිධ ආසාදන තත්ත්ව ඇති වීමය. එමෙන්ම තුවාල, සීරීම්, සමේ පළුදු වීම් ඇති වූ විට මෙම තත්ත්වය භයානක විය හැකිය. මන්ද, මාරාන්තික විෂබීජ ශරීර ගතවීමට ඇති හැකියාව වැඩි බැවිනි. මී උණ, පිටගැස්ම වැනි රෝගයන්ට ගොදුරු වීමේ අවකාශ ද මෙවැනි කාලසීමාවන්හි දී ඇති විය හැකිය. එබැවින් ඒවා ද නොසලකා හැරිය යුතු නොවේ. මෙවැනි ස්ථානවල ගැවසීම, අපරික්ෂාකාරී ලෙස වතුරට බැසීමෙන් වැළකිය යුතුය.

 

මදුරු උවදුර

ගං වතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යෑමත් සමඟ මදුරු උවදුර වැඩි විය හැකි බැවින් පහත් බිම්වල ජලය එක්රැස් වී ඇති ස්ථානවල ගොඩ ගැසී තිබෙන කැළි කසළ අපද්‍රව්‍ය, බෝතල්, ටින් කැබලි, ටයර් ආදිය විනාශ කිරීම වඩාත් සුදුසු ය.

මෙම සියලු දේ පිළිබඳ සැලකිලිමත් වීමෙන් හා පෙර සූදානම අනුගමනය කිරීමෙන් මෙවැනි ව්‍යසනයන් බොහොමයකින් ම වැළකී සිටීමට මෙරට ජනතාවට හැකි වනු ඇත. තමා අවට පරිසරයේ පැතිරී යන රෝග පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබිය යුතු අතර රෝග උපද්‍රවවලින් ආරක්ෂා වීමට, පෙර සූදානම අත්‍යවශ්‍ය ය. අවබෝධය තුළින් රෝග පැතිරී යෑම වැළැක්වීම සඳහා පුද්ගල මට්ටමින් ගත හැකි පියවර ගැනීමෙන් මෙම ආපදා හානි වළක්වා ගැනීමට සියල්ලටම දායක විය හැකිය.

එමෙන්ම මේ දිනවල ගංගා, ඇළ, දොළවල ස්නානය කිරීම ද නොකළ යුත්තකි. එලෙස ස්නානය කිරීමට යෑමෙන් පසුගිය දින කිහිපයේම ජීවිත කිහිපයක්ම අකාලයේ නැති විණි.

කාලගුණ අනාවැකිකරණයේ ප්‍රගතිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ වන විට කාලගුණ අනාවැකිකරණයේ ප්‍රගතියක් අත් කර ගෙන ඇති බව දක්නට ලැබේ. පසුගිය කාලය තුළ නිසි වේලාවට, නිවැරැදි අනාවැකි නිකුත් කිරීමට හැකි වූ ආකාරයක් පෙනෙන්නට තිබිණි. උදාහරණයක් ලෙස මුහුදේ කැළඹිලි තත්ත්වයන් පිළිබඳ නිවැරැදි අනාවැකි කල් ඇතිව නිකුත් කිරීම නිසා අනතුරට පත්වීමට ඉඩ තිබූ බොහෝ ධීවර ජනතාවක් එම අවදානමෙන් මුදා ගැනීමට හැකි වීම පෙන්වා දිය හැකිය. ගැඹුරු මුහුදේ අවදානම් කලාපවල ධීවර කටයුතු කරමින් සිටි පිරිස් ආරක්ෂිත ප්‍රදේශ වෙත යොමු කර ඔවුන්ට ආරක්ෂාව සපයා දීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිවලට හැකියාව ලැබිණි. දිනෙන් දින දියුණු වන තාක්ෂණය හේතුවෙන් අනාවැකි වේගවත්ව සහ විස්තරාත්මකව නිකුත් කිරීමට හැකියාව ලැබේ. වත්මන් රජය, ලෝක බැංකුව සමඟ එක් වී කාලගුණ අනාවැකි තවත් පුළුල් ආකාරයට ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් නැංවීමේ ගිවිසුමකට එළැඹී තිබේ. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආශ්‍රිතව සිදු කෙරෙන ක්‍රියාකාරකම් සඳහා කාලගුණ අනාවැකි විස්තරාත්මක දත්ත සහ විශ්ලේෂණාත්මක තොරතුරු සහිතව නිකුත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් වැඩි දියුණු කිරීම නව වැඩපිළිවෙළ මඟින් සිදු කෙරේ.

වායුපීඩන තත්ත්වය

ගෝලීය වශයෙන් ලබා ගන්නා දත්ත, දේශීය වශයෙන් ලබා ගන්නා කාලගුණික දත්ත, චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගන්නා දත්ත සියල්ල ඒකරාශි කර, ඉතාමත් පුළුල් විස්තරාත්මක අනාවැකියක් ලබාදීමේ ක්‍රමවේදයක් (Integrating system) ඇති කිරීමට කටයුතු මේ වන විට යොදා තිබේ. එමෙන්ම ජපානයේ ජයිකා ආයතනයේ ආධාර ඇතිව පුත්තලම හා පොතුවිල් ප්‍රදේශවල ඩොප්ලර් (Dopler) දෙකක් ස්ථාපනය කිරීමට ද කටයුතු යොදා තිබේ. මේ නිසා බෙංගාල බොක්ක සහ අරාබි මුහුද ආශ්‍රිතව ඇති වන වායු පීඩන තත්ත්වයන්, සුළි කුණාටු තත්ත්වයන් වර්ධනය වෙන්නේ ඉතාමත් කෙටි කාලයක් තුළ බව සඳහන් වේ.

මේ නිසා රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මෙන්ම ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පිළිබඳව ද විශ්වාසය ඇති කර ගත යුතු අතර ඉන් නිකුත් කරනු ලබන නිවේදනයන්ට යහපත් ප්‍රතිචාර දැක්විය යුතු ය. මේ නිසා ගංවතුර ආපදා, නායයෑම් අනතුරු මෙන්ම වසංගත රෝගවලින් ද ආරක්ෂා වීමට ජනතාවට හැකි වනු ඇත.