වත්මන් රජයේ ලබන වසර සඳහා වන අය වැය යෝජනා මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. වර්තමාන රජයේ දෙවන අයවැය මෙයයි. මෙහි සුවිශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළ අභියෝග රැසක් පවතින අවස්ථාවක 2022 වසර සඳහා වන අයවැය ඉදිරිපත් කිරීමයි. මෙයට දෙවසරකට පෙර අප නොසිතූ ආකාරයට මතු වූ කොවිඩ් වයිරසය රටේ පැතිර යෑම නිසා අපේ ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති විය. මෙය එක් පැත්තකින් රට අභ්‍යන්තරයේ ආර්ථික කටයුතුවලට අයහපත් බලපෑමක් එල්ල කළේය. අනෙක් පසින් ලෝක ආර්ථිකයේ බිඳ වැටීම් නිසා ඇති වූ ගැටලුවලින් මිදීමට ද අපට නොහැකි විය. මේ නිසා ආයෝජන අවස්ථා පහළ වැටිණි. භාණ්ඩ මිල ගණන් ඉහළ ගියේය. විනිමය අනුපාතිකයන්ගේ දැඩි අවදානම් තත්ත්වයක් මතු විය. නිදහස් විදේශ වෙළෙඳාමට බලපෑම් එල්ල වෙද්දී සංචාරක ව්‍යාපාරය කඩා වැටිණි. විදේශ රැකියා වෙළෙඳපොළ කඩා වැටෙන විට ගුවන්, නාවික, රක්ෂණ ආදි සෑම ක්ෂේත්‍රයකම ප්‍රශ්න පැන නැගිණි. මේ වන විට ලෝකයේ සෑම ආර්ථිකයක්ම කොවිඩ් වසංගතය හමුවේ පැන නැඟුණු අභියෝගයන්ට මුහුණ දී තිබේ. මෙවර අයවැය සකස් කිරීමට සිදු වූයේ එම අභියෝග හමුවේය. මෙරට ආර්ථික දර්ශක විශ්ලේෂණය කිරීමේ දී 2012 න් පසුව දිගින් දිගටම අපේ ආර්ථිකය පැවතියේ දුර්වල වෙමිනි. ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් දිගු කාලීනව ආර්ථිකයේ පැවැති ව්‍යුහාත්මක ගැටලු හඳුනා නොගෙන කටයුතු කිරීම මෙයට හේතු විය. දේශීය ආයෝජන විවිධාංගිකරණය වීමක් රටේ සිදු නොවිණි. ආනයන අපනයන වෙළෙඳාම අපට වාසිදායක ලෙස සිදුවන බවක් පෙනෙන්න නොතිබිණි. නිෂ්පාදන සහ පරිභෝජන අංශයන් දැඩි ලෙස සහනාධාර මත යැපෙන ඒවා බවට පත් විය. රාජ්‍ය අංශය ඉහළ සේවක සංඛ්‍යාවකින් සමන්විතව පවත්වා ගෙන ගියත් ඉන් සැලකිය යුතු ඵලදායිත්වයක් නොලැබිණි. රටට යෝග්‍ය වූ බදු ප්‍රතිපත්තියක් රටේ ක්‍රියාත්මක නොවිණි. සහනාධාර මත යැපෙන ජනතාවක් ඇති කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති දිගින් දිගටම ක්‍රියාත්මක විය. මේ සියල්ල දේශීය ආර්ථිකයේ පැවැති ව්‍යුහාත්මක ගැටලු ය. කොවිඩ් බලපෑම මෙන්ම රට අභ්‍යන්තර ආර්ථිකයේ පැවැති ව්‍යුහාත්මක ගැටලු යන කාරණා දෙකම අපේ ආර්ථිකය ඉතා දුර්වල මට්ටමකට ගෙන ඒමට හේතු වූ බව මින් පැහැදිලිය.

ප්‍රධාන පැති කඩ දෙකක්

මෙම කරුණු හේතුවෙන් රට ලෝක ආර්ථිකය මත රඳා පැවැත්ම ක්‍රමයෙන් ඉහළ යෑමට හේතු විය. විනිමය අනුපාතිකය දිගින් දිගටම පිරිහීමකට ලක් වීමට ද මෙය හේතු විය. රට සතු විදේශ සංචිත ප්‍රමාණය ක්‍රමයෙන් පහත බැස්සේය. අනෙක් පසින් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඉහළ ගියේය. මේ කාරණා මත සමස්ත ආර්ථිකය කිසියම් අස්ථාවර තත්ත්වයකට පත්ව තිබිණි. රජය 2022 සඳහා අයවැය යෝජනා සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ මෙම පසුබිම තුළය. අයවැය යෝජනා සම්බන්ධව විමර්ශනාත්මකව අධ්‍යනය කිරීමේ දී ප්‍රධාන පැති කඩ දෙකක් කෙරෙහි අවධානය යොමු කර තිබෙන බවක් පෙනෙන්නට තිබේ. රටේ පවතින ප්‍රශ්නවලට යම්තාක් දුරට විසඳුම් ලබා දීම පිණිස රටේ අභ්‍යන්තර ආර්ථිකය ස්ථාවරත්වයට පත් කිරිම සඳහා රජය කටයුතු කළ යුතුය. කොවිඩ් හමුවේ පැන නඟින අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් මෙම කටයුත්ත සිදු කිරීම සඳහා වන අයවැයක් පිළියෙළ කිරීමට මෙවර රජයට සිදුව තිබිණි. අනෙක් පසින් බාහිර ආර්ථිකය ස්ථාවර කරමින් ලෝකයේ අවශේෂ රටවලින් ලංකා ආර්ථිකයට එල්ල වන බලපෑම් අවම මට්ටමකට ගෙන ඒම සඳහා ද මෙමඟින් පියවර ගැනීම ද අත්‍යවශ්‍ය කාරණයක් විය.

ඉදිරිපත් කරනු ලැබ තිබෙන අයවැය යෝජනා සැලකීමේ දී රජයේ සාර්ව ආර්ථික කළමනාකරණයට එමඟින් සිදු වන බලපෑම කුමක් ද යන්න සොයා බැලිය යුතුය. අනෙක් කාරණය වන්නේ පාරිභෝගිකයන්ගේ හා නිෂ්පාදකයන්ගේ (සූක්ෂ්ම ආර්ථිකය) සමාජ හා ආර්ථික ගැටලුවලට මෙමඟින් කවර ආකාරයක බලපෑමක් එල්ල වන්නේ ද යන්න තහවුරු කර ගැනීම ය. අයවැය තුළ සමස්තයක් ලෙස රජයේ වියදම් සහ අාදායම් හැසිරවීම මූලිකව සඳහන්ය. සාර්ව ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් රජය ගන්නා පියවර මොනවා ද යන්න සැලකීමේ දී ආදායම් හැසිරවීමට රජය ගෙන තිබෙන පියවර කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය. වසර 2021 සැලකීමේ දී රටේ සමස්ත ආදායමෙන් 85% ක් ආවරණය කර තිබුණේ බදු ආදායමෙනි. ලබන වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවන්ට අනුව රටේ මුළු ආදායමෙන් 87% ක් ආවරණය කර ගැනීමට අපේක්ෂා කරන්නේ බදු මඟිනි. මෙම වසරේ රජයේ මුළු බදු ආදායම රුපියල් බිලියන 1325 කි. ලබන වසරේ දී එය බිලියන 1987 ක් දක්වා වැඩි කර ගැනීමට අයවැය මඟින් යෝජනා කර තිබේ. එය රජයේ බදු ආදායම රුපියල් බිලියන 662 කින් ඉහළ නංවා ගැනීමකි. 2022 දී රජයේ මුළු ආදායම වැඩි කර ගැනීමට අපේක්ෂා කරන්නේ රුපියල් බිලියන 718 කිනි. රජයේ මුළු ආදායමෙන් 87% ක් පමණම බදු ආදායම් මඟින් ආවරණය කර ගැනීමට රජය කටයුතු කරන්නේ අනෙකුත් ආදායම් මාර්ග බොහොමයක් මේ වන විට ඇහිරී තිබෙන නිසාය. රාජ්‍ය අංශ ආයතන මඟින් ලැබෙන ආදායම් වැඩි කර ගැනීමට මේ අවස්ථාවේ රජයට කටයුතු කිරීමේ හැකියාවක් නැත.

රජය බදු අාදායම් මගින් සමස්ත ආදායමෙන් වැඩි කොටසක් ආවරණය කර ගැනීමට පෙළඹීම මේ අවස්ථාවේ කළ හැකි හොඳම විසඳුම ලෙස පෙන්වා දීමට පුළුවන. රජයේ ආදායම් බදු පසුගිය වසරට සාපේක්ෂව බිලියන 201 කින් වැඩි කර ගැනීමට ලබන වසරේ දී යෝජනා කරනු ලබයි. භාණ්ඩ හා සේවා මත පනවන බදු මඟින් බිලියන 381 ක් පසුගිය වසරට සාපේක්ෂව උපයා ගැනීමට මෙම වසරේ දී රජය සැලසුම් කරයි. බාහිර වෙළෙඳාම මඟින් වැඩි කර ගැනීමට අපේක්ෂා කරන බදු ආදායම බිලියන 80 කි. රජයේ ආදායම ඉහළ නංවා ගැනීම පිණිස කරනු ලබන මේ යෝජනා ධනාත්මකය. රජයේ ආදායම ක්‍රමක්‍රමයෙන් වැඩි කර ගැනීමට සත්‍ය වශයෙන්ම කටයුතු කළ යුතුව තිබේ. කොවිඩ් හමුවේ රජයේ වියදම් ඉහළ ගොස් ඇත. අනෙක් පසින් ආදායම් පහත වැටී තිබේ. මේ නිසා අයවැය පරතරය ඉහළ යන විට එය පියවා ගැනීම පිණිස ණය ගැනීමට සිදු වෙයි. ණය ගැනීම් ඉහළ ගිය විට ණය වාරික හා පොලී ගෙවීම සඳහා වෙන් කළ යුතු මුදල ඉහළ යෑම සාමාන්‍ය තත්ත්වයකි.මේ ආකාර විෂම චක්‍රයක අපි සිටින නිසා රජයේ ආදායම් ක්‍රමක්‍රමයෙන් වැඩි කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වට පත් වේ.

වියදම් සංයුතිය

රටේ වියදම් හැසිරවීම ද අතිශයින් වැදගත් කොටසකි. එම වියදම් සැලකීමේ දී 2021 දී රජයේ මුළු වියදම රුපියල් බිලියන 3387 කි. ලබන වසර වන විට එය බිලියන 3912 ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂිතය. එමඟින් ගම්‍ය වන්නේ බිලියන 525 කින් පසුගිය වසරට සාපේක්ෂව රජයේ වියදම් 2022 වසරේ දී වැඩි වනු ඇති බවයි. මේ වියදම තුළ කොටස් දෙකක් තිබේ. එකක් නම් පුනරාවර්තන වියදම් ය. පවතින ආර්ථික මට්ටම ඒ මට්ටමින් පවත්වා ගෙන යෑමට කරනු ලබන වියදම් ඊට ඇතුළත්ය. අනෙක් වියදම් වන්නේ රාජ්‍ය අංශයේ ආයෝජන ය. පුනරාවර්තන වියදම් 2021 දී රුපියල් බිලියන 2817 ක් විය. ලබන වසරේ දී එම මුදල රුපියල් බිලියන 2996 ක් දක්වා ඉහළ දැමීමට අපේක්ෂා කරන අතර, එය ඉහළ වැඩි වීමක් ලෙස පිළිගැනීමට නුපුළුවන. රාජ්‍ය ආයෝජනය 2021 දී රුපියල් බිලියන 582 ක් වන විට ලබන වසරේ දී එය බිලියන 931 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. රුපියල් බිලියන 349 කින් 2022 දී රාජ්‍ය ආයෝජන ඉහළ නැංවීමට කරන යෝජනාව ලංකා ආර්ථිකය තුළ ධනාත්මක ලක්ෂණයක් ලෙස හඳුනා ගැනීමට පුළුවන.

වියදම් සංයුතිය දෙස අවධානය යොමු කිරීමේ දී රජයේ මුළු වියදමින් වැටුප් ගෙවීමට සමස්ත ආදායමෙන් 34% ක් වෙන් කෙරෙයි. අනිකුත් භාණ්ඩ හා සේවා වලට අදාළ ගෙවීම්වලට 7% කුත් පොලී ගෙවීම්වලට 37% කුත් සහනාධාර සඳහා 22% කුත් ලෙස වියදම් බෙදී ගොස් තිබේ. රජයේ මුළු වියදම සැලකීමේ දී 2021 වර්ෂයේ දී ආයෝජන සඳහා වැය කර තිබෙන්නේ සමස්තයෙන් 17 % කි. එහෙත් ලබන වසරේ දී එය 24% ක් දක්වා ඉහළ දැමීමට අයවැයෙන් යෝජනා කර තිබේ. රජයේ ආයෝජන ක්‍රම­ානුකූලව අයවැය මඟින් වැඩි කිරිම ආර්ථිකය පැත්තෙන් සුබදායි තත්ත්වයකි. සාර්ව ආර්ථික කළමනාකරණය පැත්තෙන් ගත් විට ආදායම් ඉහළ නැංවීමට එක් පැත්තකින් කටයුතු කරන විට අනෙක් පසින් වියදම් අවම කර ගැනීමට ක්‍රියා කිරීම රජය ප්‍රකට කරන්නා වූ හොඳ ප්‍රවණතාවකි. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 11.1% ක් දක්වා ඉහළ ගොස් තිබෙන අයවැය හිඟය වියදම් පාලනය තුළින් 2022 දී 8.8% ක් දක්වා පහතට ගෙන ඒමට රජය යෝජනා කර තිබේ. මෙම හිඟය 2028 වන විට 5 % කට වඩා අඩු මට්ටමකට ගෙන ඒම රජයේ අරමුණ වී තිබේ. අයවැය හිඟය 10% ට වඩා ඉහළ මට්ටමකට පැමිණියේ මේ වසරේදීය. මෙම පරතරය ඉහළ යන විට රජයට ණය ගැනීමට සිදු වෙයි. අපි විශාල ණය උගුලක පැටලී සිටින නිසා හැකි තරම් අයවැය හිඟය පියවා ගැනීමට කටයුතු කිරීම අගය කළ යුතු දෙයකි. තව දුරටත් ණය ගැනීමට යෑමෙන් සාර්ව ආර්ථිකය දැඩි අර්බුදයකට තල්ලු වීම සඳහා පවතින ඉඩ වැඩිය. ඒ නිසා අයවැය හිඟය පහතට ගෙන ඒම යහපත් ප්‍රවණතාවකි.

 

තනි තනි පුද්ගලයන් ලෙස ගත් විට ඔවුන් පාරිභෝගිකයන්, තනි තනි ව්‍යාපාරිකයන් විය හැකිය. ඒ අයට අයවැය මඟින් යෝජනා කර තිබෙන දේවල් මොනවා ද යන්න සැලකීමේ දී ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවීම කියන යෝජනාව ඉතා යහපත් ය. ඇඟලුම් කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය රටේම නිෂ්පාදනය කිරීම පිණිස කලාප පිහිටුවීම ද ඒ හා සමාන අගය කළ යුතු යෝජනාවකි. වගා නොකළ ඉඩම් වගාවට යොමු කිරීමට රජය යම් අවධානයක් යොමු කර තිබේ. විදේශ සේවා නියුක්තිය ඉහළ නැංවීම සඳහා රජය යම් ක්‍රියාමාර්ග ගන්නා බව පෙන්වා දී ඇත. ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු අය නොකිරීමට කර තිබෙන යෝජනාව ද ඵලදායි එකකි. මේවා අයවැය තුළ දක්නට ලැබෙන ධනාත්මක දේවල්ය. මේ යෝජනාවන්හි ප්‍රතිඵල වඩාත් හොඳින් අත්විඳීමට නම් යෝජනාවලට අමතරව ඉන් ඔබ්බට ගිය යම් යම් සංශෝධන පිළිබඳ ව අවධානය යොමු කර කටයුතු කිරීම වැදගත් ය. වගා නොකළ ඉඩම් වගාවට යොමු කිරිම සඳහා මූල්‍ය නොවන සහන බලයන් ඕනෑ තරම් තිබේ. ඒවා කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ව්‍යාපාර ලියාපදිංචියේ දී ගාස්තු අය නොකිරීමට පමණක් සීමා නොවී වඩා හොඳ ප්‍රතිඵල ලැබීමට නම් ඔවුන්ට අවශ්‍ය ව්‍යාපාරික ඥානය ලබා දීම වැනි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වැදගත්ය. අන්තර්ජාතික වෙළෙඳාමට යොමු වන ආකාරය සම්බන්ධව ඔවුන්ට අවබෝධයක් ලබා දීම තවත් කාරණයකි. අයවැය යෝජනා මඟින් අපේක්ෂා කරන ප්‍රතිඵල ලැබීමට එවැනි දේ කළ යුතුය.බොහොමයක් කුඩා පරිමාණ ව්‍යාපාරයන්හි සිදු කෙරෙන නිෂ්පාදන අපනයන වෙළෙඳාමට ඉතාමත් යෝග්‍යය. එහෙත් ඒ අය අපනයන නීති පද්ධතිය සම්බන්ධ ව දැනුම්වත් නැත. මෙම කාරණා පිළිබඳ ව රජයේ අවධානය යොමු වීම වැදගත් වේ.

මත්පැන් හා දුම්වැටි සඳහා වන බදු ඉහළ දැමීම ඔස්සේ ඒවාහි මිල ඉහළ යෑම නිසා ජනතාව විකල්ප කරා යොමු වීමට පුළුවන. රජයේ ආදායම් වැඩි කර ගැනීම එක් පැත්තකින් සිදු වන විට අනෙක් පසින් මේවා පරිභෝජනය කිරීම ද යම් ආකාරයකට පහත දැමීම අපේ අරමුණ නම් විකල්ප වෙත ජනතාව නැඹුරු වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගත යුතුය. මේවා භාවිතයෙන් සෞඛ්‍යයට සිදු වන අහිතකර බලපෑම වැනි කරුණු ඉස්මතු කරලීම මෙහිදී වැදගත් කාරණයකි. පර්පචුවල් ට්‍රෙෂරීස්හි බිලියන 8.5 වත්කම් රජයට පවරා ගැනීමට කළ යෝජනාව ඉතා සුදුසු ය. ඒ ආකාරයෙන් රජයට තවත් ආදායම් ලබා ගත හැකි මාර්ග තිබේ. උදාහරණයක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කිරීම වැනි කරුණක් පෙන්වා දිය හැකිය. අයථා ලෙස මුදල් උපයන ලද වංචාකරුවන් රැසක් රටේ සිටිති. ඒවා කෙරෙහි අවධානය යොමු කිරීම ද වැදගත් ය.

බදු ඉහළ දැමීම

සමස්තයක් ලෙස රටේ අභ්‍යන්තර ආර්ථිකය ඉහළ නැංවීමට යම් ආකාරයක සුබදායි යෝජනා මෙම අයවැය ලේඛනයේ අඩංගුය. දේශිය ආර්ථිකය යම් යම් ආකාරයට කළමනාකරණය කිරීම සඳහා වන ධනාත්මක යෝජනා මේ තුළ තිබේ. රට මේ වන විට ගෙවුම් ශේෂ හිඟයකට මුහුණ දී සිටින අතර, විනිමය අනුපාතිකය ද දිගින් දිගටම පහළ යමින් තිබේ. මේවාට පිළියම් සොයන අතර විදේශ ආයෝජකයින් රටට ආකර්ෂණය කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීමටත් අන්තර්ජාතික වෙළෙඳාම රටට වඩාත් වාසිදායක ලෙස හැසිරවීම පිණිස පියවර ගැනීමටත් සිදුව තිබේ.

මහ බැංකුව සතු සංචිත ප්‍රමාණය පහත වැටී ඇත. රජයේ ණය වාරික පොලී ගෙවීමට සිදුව තිබේ. මේවා ගැන අවධානය යොමු කිරීම වැදගත්ය. දේශීය ආර්ථිකය තුළ දිගු කාලයක් තිස්සේ පවතින ව්‍යුහාත්මක ගැටලු තිබේ. රාජ්‍ය අංශයේ ලක්ෂ 16 ක පිරිසක් සේවය කරති. මේ අයගේ ඵලදායිතාව පවතින්නේ ඉතා අඩු මට්ටමකය. රාජ්‍ය අංශයේ වැඩි පිරිසක් සිටින බව කියමින් ඉන්නවාට වඩා ඔවුන් ගෙන් ඵලදායි සේවයක් සපයා ගැනීම සඳහා අපට වැඩපිළිවෙළක් තිබිය යුතුය. ඒ සඳහා රජය අවධානය යොමු කිරීම වැදගත් ය.බොහොමයක් රාජ්‍ය ආයතන දුෂණයෙන් පිරි පවතී. ඒවා අවම කිරීමට වැඩපිළිවෙළක් තිබිය යුතුයි. දීර්ඝ කාලයක් තිස්සේ රටට මුදල් අහිමි කරන රාජ්‍ය අංශයේ ව්‍යාපාර තිබේ. ඛනිජ තෙල් සංස්ථාව වසරකට බිලියන 60 ක පමණ පාඩුවක් ලබයි. ශ්‍රී ලංකා ගුවන් සමාගම ද එවැනිම පාඩුවක් පසුගිය වසරේ ලැබීය. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ද එලෙස පාඩු මත දුවන ආයතනයකි. මේවා මහජන බදු මුදල්වලින් නඩත්තු කිරීමට යෑමේදී පෙරළා එම බර දැරීමට සිදුවන්නේ ජනතාවටය. මේවා ලාභ ලබන ආයතන බවට පරිවර්තනය කිරීම හෝ ඒවාහි කළමනාකරණය යම් ආකාරයකට පෞද්ගලික අංශයට පැවරීමක් කළ යුතුය. මේවා රටට බරක් නොවන ආයතන බවට පත් කිරීම වැදගත්ය. එවැනි දේ ගැන මේ අයවැය තුළ අවධානය යොමු කළ බවක් පෙනෙන්නට නැත. මේ ඉදිරිපත් කර තිබෙන්නේ අයවැය යෝජනා පමණි. පාර්ලිමේන්තුව තුළ මේ සම්බන්ධව වාද විවාද පැවැත් වේ. අදාළ කාරණා ගැන අවධානය යොමු කිරීමක් සිදුව ප්‍රතිපත්ති සම්පාදනයේදී ඒ ගැන යම් සිතා බැලීමක් වුව හොත් එය වඩා ඵලදායි වනු ඇත.

රට තුළ නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වීම වැදගත් ය. රටේ සමාජ ක්‍රමය ස්ථාවර වන්නේ නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වූ තරමට ය. ආර්ථික ස්ථාවරත්වයට ද එය ප්‍රබල ලෙස බලපායි. සංස්කෘතිය හා සමාජය ස්ථාවර වන විට විදේශ ආයෝජන රටට පැමිණීම සඳහා අවශ්‍ය පසුබිම සකස් වනු ඇත.