ශ්‍රී ලංකාව කලාත්මක නිර්මාණ බිහි කිරීම අතින් සාඩම්බර මෙන්ම අනභිභවනීය ඉතිහාසයකට උරුමකම් කියන රටකි. ඒ අතීත උරුමය සාම්ප්‍රදායික ගෘහ කර්මාන්ත වශයෙන් දියුණුව කරා යමින් අභියෝග මැද වුව ද වර්තමානයට ද අයිති වී තිබේ. එය අනාගතය කරා රැගෙන යෑම මෙන්ම මතු පරම්පරාවක් උදෙසා තිළිණ කිරීම ද වර්තමානිකයන් ලෙස අපට පැවරී ඇති පැහැර හැරිය නොහැකි වගකීමකි. එසේම එකී කලාත්මක නිර්මාණ හා කර්මාන්ත ජන ජීවිත මෙන්ම රටේ ආර්ථිකය ඔසොවා තැබීම සම්බන්ධයෙන් ද සිය දායකත්වය එක් කරමින් තිබේ. පිත්තල භාණ්ඩ, දුම්බර පැදුරු, ලාක්ෂා, වේවැල් ආදී කර්මාන්ත මෙන්ම අත්යන්ත්‍ර රෙදිපිළි, බීරළු, බතික් වැනි කර්මාන්ත ද එලෙස අන්තර්ජාතික වශයෙන් ද ප්‍රසිද්ධියට ලක්ව ඇත. එම කර්මාන්ත සඳහාම වෙන් වූ ගම්මාන ද තිබේ. සමාජ විපර්යාසයන්වල බලපෑම් හමුවේ වුව ද එකී ගම් බිම්වල තවමත් මෙවැනි සාම්ප්‍රදායික කර්මාන්ත ව්‍යාප්තව පවතී.

නිෂ්පාදන ආර්ථිකය

සංචාරක කර්මාන්තයේ වේගවත් වර්ධනයත් සමඟ මෙවැනි සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ගේ ජීවනෝපාය ඉහළට පැමිණිය ද කොවිඩ් - 19 ගෝලීය වසංගත තත්ත්වයත් සමඟ අන් සෑම ක්ෂේත්‍රයක් මෙන්ම මේ ක්ෂේත්‍රය ද විශාල බලපෑමකට ලක්ව තිබේ. එවැනි පසුබිමක නිෂ්පාදන ආර්ථිකයන් කරා රට යොමු කරන අය-වැයක් ලෙස හැඳින්විය හැකි 2022 වසර සඳහා වන අය-වැය මඟින් පාරම්පරික ගෘහ කර්මාන්ත ක්ෂේත්‍රය මෙන්ම අත්යන්ත්‍ර, බතික් ඇතුළු පේෂකර්මාන්ත ක්ෂේත්‍රය සඳහා ද අගය කළ හැකි පරිද්දෙන් අවධානය යොමු කර තිබීම වැදගත්ය. කොවිඩ් වසංගතයේ බලපෑම් හේතුවෙන් සිය ජීවනෝපාය හා ව්‍යාපාරවලට ඇති වූ බලපෑම ගැන එම ක්ෂේත්‍රවල නියැළෙන ශිල්පීන් මෙන්ම ව්‍යවසායකයන් ද පසුගිය කාලයේ තම දුක්ගැනවිලි ඉදිරිපත් කරනු දැකිය හැකි විය. 2022 අය-වැයෙන් ඔවුන් කෙරෙහි සංවේදීව බලමින් ඔවුන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ අවධානය යොමු කර ඇති අයුරු දිස් වේ.

පාරම්පරික ගෘහ කර්මාන්ත සංවර්ධනය සඳහා මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදනය රුපියල් කෝටි 100කි. අත්යන්ත්‍ර බතික් ඇතුළු පේෂ කර්මාන්ත සංවර්ධනය සඳහා ද තවත් කෝටි 100ක් වෙන් කර තිබේ. ඒ, දැනටමත් වෙන්කර ඇති ප්‍රතිපාදනවලට අමතරවය.

කෘෂි සංස්කෘතියෙන් පෝෂණය වූ රටක වැසියන් ලෙස අපි විවේකයක් ලද සෑම විටකම පාහේ කලාත්මක නිර්මාණ කිරීමේ යෙදී ඇත්තෙමු. කලාත්මක නිර්මාණ සාම්ප්‍රදායික ගෘහ කර්මාන්තයක් ලෙස දියුණු වූයේ, එහි ප්‍රතිඵලයක් වශයෙන් යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය අය - වැය කතාවේ දී ද සඳහන් කළේ ය. හන්දෙස්ස, තලගුණේ, තිත්තගල්ල, පරදුව, බඹගහදෙණිය ආදී ගම්මාන 273ක් පමණ එවැනි සාම්ප්‍රදායික කර්මාන්ත සඳහා විශේෂිත මෙන්ම වෙන් වූ ගම්මාන වශයෙන් හඳුනාගෙන ඇත. එම ගම්මාන සමස්ත දිවයින පුරාම විහිදී පවතින බව ද දැනටමත් හඳුනාගෙන ඇත.

බාධා ඉවත් කිරීම

ශ්‍රී ලාංකේය අභිමානය සහ අනන්‍යතාව ගැබ්ව ඇති එම නිර්මාණ හා නිෂ්පාදන සඳහා පවතින ගැටලු අතරින් අමුද්‍රව්‍ය හිඟය ප්‍රමුඛ ගැටලුවක් වශයෙන් අය - වැය මඟින් ද පිළිගෙන තිබේ. එම නිර්මාණවල කලාත්මක උසස් බව හා සාම්ප්‍රදායික ලක්ෂණ රැක ගනිමින්ම නූතන තාක්ෂණය හා ගුණාත්මකභාවය ඒවාට එකතු කිරීම අවැසිය. එසේම තම නිෂ්පාදන දේශීය හා විදේශීය වෙළෙඳපොළට යොමු කිරීමේදී පවතින බාධා ඉවත් කිරීම රජයේ වගකීමක් බව ද, මුදල් ඇමැතිවරයා පිළිගැනීම වැදගත් ය. එසේ පිළිගන්නා බැවින් දේශීය පාරම්පරික ගෘහ කර්මාන්ත ආරක්ෂා කර සංවර්ධනය කිරීම පිණිස වෙනමම අමාත්‍යාංශයක් ද ඇති කර වගකීම් පවරා තිබේ. ඒ යටතේ වේවැල්, මැටි, පිත්තල, ලාක්ෂා, වෙස්මුහුණු, පොල්කටු, ස්වර්ණාභරණ, ගල් කැටයම්, හණ හා දුම්බර රටා ආදී පාරම්පරික ගෘහ කර්මාන්ත දියුණු කිරීම පිණිස පියවර ගෙන ඇත. අමතර ප්‍රතිපාදන වෙන් කිරීම මඟින් එම ක්‍රියාමාර්ග ප්‍රායෝගිකව සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබේ.

මෙම පාරම්පරික කර්මාන්ත ඉදිරියට පවත්වා ගැනීම සම්බන්ධයෙන් එම පරම්පරාවල වර්තමාන තරුණ ප්‍රජාව ඒවායේ නියැළීම ද විය යුතුය. ඊට උනන්දුවක් දක්වන අයට අවශ්‍ය පුහුණුව දීම ඇතුළු දිරිගැන්වීමේ ක්‍රියාමාර්ග ද ගත යුතුය. අමතර ප්‍රතිපාදන වෙන්වීම මඟින් එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට හැකි වනු ඇත. නව පරපුර මෙවැනි ක්ෂේත්‍ර කරා ආකර්ෂණය කර ගැනීම සම්බන්ධයෙන් හොඳ ජීවනෝපාය මාර්ගයක් ලෙස එය පෙනී යෑම ද විය යුතුය. ඒ සඳහා එම නිෂ්පාදන වෙනුවෙන් ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද වෙළෙඳපොළ ඉල්ලුම ඉහළ යෑම බලපාන බව පැහැදිලි කාරණයකි. ඇතැම් විට වෙළෙඳපොළ සම්බන්ධයෙන් ගැටලු මතු නොවුණ ද තවත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තවමත් එය මුළුමනින් විසඳී නැති ගැටලුවකි. එය විසඳා ගැනීම මඟින් අපනයනය හරහා රටට වැඩියෙන් විදේශ විනිමය රැගෙන ඒමට ද හැකියාව තිබේ. කලාත්මකව මෙන්ම ගුණාත්මකව උසස් නිර්මාණවලට අන්තර්ජාතික වෙළෙඳපොළේ ද හොඳ ඉල්ලුමක් ඇත. එම වෙළෙඳපොළ අවස්ථා පාරම්පරික ගෘහ කර්මාන්තවල නියැළෙන ගම්මාන කරා යොමු කළ යුතුය. සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ කරමින් ද සංචාරකයන් එම ගම්මාන කරා ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකිය. එමඟින් නව වෙළෙඳපොළ අවස්ථා ද නිර්මාණය වනු ඇත.

අමුද්‍රව්‍ය හිඟයට විසඳුම්

මෙම සාම්ප්‍රදායික හා පාරම්පරික ගෘහ කර්මාන්ත ශිල්පීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වශයෙන් අමුද්‍රව්‍ය හිඟය අය - වැය මඟින් ද හඳුනාගෙන තිබීම අගය කළ යුතුය. කාලයක් තිස්සේ මේ පිළිබඳ ව එම ශිල්පීහු මැසිවිලි නඟමින් සිටියහ. ප්‍රමාණවත් අයුරින් අමුද්‍රව්‍ය සපයා දීමට හැකි නම් එය එම කර්මාන්ත ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් ඇති ප්‍රධාන බාධකයක් මඟහරවා ගැනීමකි. අමතර ප්‍රතිපාදන වෙන්ව තිබීම මඟින් ඊට අවශ්‍ය පියවර ගැනීමට අදාළ අමාත්‍යාංශවලට හැකියාව ලැබේ.

 

මුදල් අමාත්‍යවරයා අය - වැය කතාවේදී සඳහන් කළ පරිදි ද අතීතයේ පටන්ම ඉන්දියාව, චීනය වැනි රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද රෙදිපිළි කර්මාන්තයට ප්‍රසිද්ධියක් ඉසිලීය. අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තයට සාම්ප්‍රදායික කර්මාන්තයක් ලෙස දීර්ඝ ඉතිහාසයක් තිබේ. සංචාරක කර්මාන්තය පසුබෑමට ලක් වීමත් සමඟ මෙම කර්මාන්තවලට ද ඍජුවම එය බලපෑවේය. මේ වන විට යළිත් සංචාරක කර්මාන්තය හිස ඔසොවමින් තිබියදී එහි යළිත් මෙවැනි ක්ෂේත්‍ර කරා යොමු කරමින් ඒවා ශක්තිමත් කිරීමට පුළුවන. අපේ උරුමයක් ලෙස ද සැලකිය හැකි බතික් කලාවට ද දිගු ඉතිහාසයක් ඇත. එය ද සංචාරක කර්මාන්තය පසුබෑමට ලක් වීමෙන් ඇති වූ බලපෑම් අදාළය. අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම, එම කලාවට යොමු වන පිරිස අඩු වීම වැනි සාධක හමුවේ වුව ද, මෑත කාලීනව බතික් කලාව කෙරෙහි ආකර්ෂණයක් මෙන්ම උනන්දුවක් ද ඇතිවී තිබේ. ඒ වෙනුවෙන් වෙනමම අමාත්‍යාංශයක් යටතට වගකීම් පවරා තිබීම ද එයට හේතු වන්නට ඇති බව පැහැදිලිය.

බතික් නිර්මාණ ශිල්පීන්ට කාලයක් තිස්සේ මුහුණදීමට සිදුව ඇති ගැටලු විසඳා ගැනීමට එමඟින් හැකියාව ලැබේ. එහිදී මෙවර අය - වැය මඟින් අමතර ප්‍රතිපාදන වෙන් කර තිබීම එම විසඳුම් ක්‍රියාමාර්ග කරා යොමු වීමට මෙන්ම බතික් කලාව හා කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම පිණිස අවස්ථාව සැලසී තිබේ. වසර 2025 දී අත්යන්ත්‍ර හා බතික් ඇතුළු නිෂ්පාදන සඳහා අමෙරිකානු ඩොලර් බිලියනයක අපනයන ආදායමක් ඉලක්ක කර ඇති බව ද අය-වැයේ සඳහන් ය. එම ඉලක්ක සපුරා ගැනීමට නම් ඊට අවශ්‍ය ආයෝජන, එම කර්මාන්ත දියුණු කිරීම ආදිය විය යුතුය.

රටේ ආර්ථිකයට ශක්තියක්

රුපියල් කෝටි 100ක ප්‍රතිපාදන වෙන් කිරීම මඟින් එම අවශ්‍යතා සතුටුදායක මට්ටමකින් පිරිමසාලීමට හැකි වනු ඇත. මෙරට බීරළු කර්මාන්තයට ද ඇත්තේ ඉහළ ඉල්ලුමකි. විදේශිකයන් අතර මෙන්ම දේශීය වශයෙන් ද එය දැකිය හැකිය. එම වෙළෙඳපොළ අවස්ථා තවදුරටත් පුළුල් කර ගැනීමට කටයුතු කිරීම මඟින් මේ කර්මාන්තයේ නියැළෙන ශිල්පීන්ට, ව්‍යවසායකයන්ට මෙන්ම රටේ ආර්ථිකයට ද ශක්තියක් වනු ඇත. අපේ සාම්ප්‍රදායික කර්මාන්ත පරිසර හිතකාමි මෙන්ම සමාජ හිතකාමි වීම ද වැදගත් කාරණයකි. වර්තමානයේ උග්‍ර වෙමින් ඇති පාරිසරික ගැටලුවලට පිළියම් වශයෙන් එම කර්මාන්ත තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගැනීම පලදායකය.

මේ ක්ෂේත්‍ර ආශ්‍රිතව ව්‍යවසායකත්ව සංස්කෘතියක් ඇති වීම මෙන්ම රැකියා අවස්ථා නිර්මාණය වීම ද රටට හිතකර මෙන්ම ආර්ථිකයට වාසිදායක කාරණාය. ඇති වන ඉල්ලුම අනුව දේශීය හා විදේශීය වශයෙන් එය පිරිමසාලීම සඳහා කුඩා පරිමාණ වශයෙන් මෙන්ම විශාල පරිමාණ වශයෙන් ද නිෂ්පාදනය ඉහළ නැංවීම විය යුතුය.

මෙම ක්‍ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීම සඳහා බදු සහන ආදිය ද හඳුන්වාදී ඇත. වෘත්තීය පුහුණු ක්ෂේත්‍ර හරහා මෙන්ම ඇඟලුම් තාක්ෂණ වැනි ක්ෂේත්‍ර ඔස්සේ විශ්වවිද්‍යාල මට්ටමින් ද වෘත්තීයමය නිපුණත්වයකින් යුතු ශිල්පීන් බිහි කිරීම සඳහා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වී තිබේ. සාම්ප්‍රදායික හා පාරම්පරිකව උරුම වන දැනුම් සම්භාරය හා අත්දැකීම් සමඟ එම නව දැනුම හා තාක්ෂණය මුසු වීම වැදගත්ය, පලදායකය. මෙවර අය-වැයත් සමඟ ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය පෙරට ගැනීම පිළිබඳ ද කතිකාවට ලක්ව ඇත. CMA ශ්‍රී ලංකා ආයතනය එම ව්‍යාපෘතිය වෙනුවෙන් මෙවර අය වැයෙන් රජ‍යේ සහාය ඉල්ලා සිටියේය. එමඟින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට (MSME) යටතේ දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් භාණ්ඩ නිෂ්පාදනය හා සේවා සැපයීම ද අපේක්ෂිතය. ග්‍රාමීය අංශයේ රැකියා 100,000 පමණ මේ යටතේ ඇති වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. එය කෘෂිකර්මය, හස්තකර්මාන්ත, මිරිදිය මත්ස්‍ය වගාව, විසිතුරු මල් හා පැළ වගාව, කිරි කර්මාන්තය, ආහාර සැකසුම්, තොරතුරු තාක්ෂණ ආදී ක්ෂේත්‍ර රැසක් ආවරණය කෙරෙනු ඇත. ඉදිරියේ දී ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා පනතක් ද ඉදිරිපත් වීමට ද නියමිතය. මෙවර අය - වැයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම පිණිස රුකුලක් වනු ඇති බව පැහැදිලිය.

උපරිම ප්‍රතිඵල

අපේ හස්ත කර්මාන්ත නඟාසිටුවීම සම්බන්ධයෙන් 2019 ට පසු ජාතික ශිල්ප සභාව මඟින් ද පලදායී වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාත්මක කෙරිණි. අදාළ අමාත්‍යාංශය මඟින් ද මැටි ඇතුළු නිෂ්පාදන දිරි ගැන්වීම සඳහා ගනු ලැබූ පියවර සමඟ සමාජයේ වැඩි අවධානයක් මෙන්ම ඉල්ලුමක් ද ඊට ඇති විය. මේ සෑම හිතකර තත්ත්වයක්ම තවදුරටත් ඉදිරියට ගෙන යමින්, ලබන වර්ෂය සඳහා අය - වැයෙන් ලැබී ඇති දිරිගැන්වීම්වලින් උපරිම ප්‍රතිඵල නෙළා ගැනීමට කටයුතු කිරීම අදාළ අංශවලට පැවරෙන වගකීමකි.