නව ආණ්ඩුක්රම ව්යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ඉදිරිපත් කොට සාකච්ඡාවට ලක්කරන බව මම අද (23) දින පාර්ලිමේන්තුවේ දී පැවසුවෙමි.
ඒ, අයවැය කාරක සභා අවස්ථාවේ ජනාධිපති, අග්රාමාත්ය කාර්යාලය ඇතුළු ආයතනවල වැය ශිර්ෂ විවාදයට එක්වෙමිනි.
නව ආණ්ඩුක්රම ව්යවස්ථා කෙටුම්පතක් සකස් කරන බවත් රහසිගතව සිදුවන යමක් එහි නැති බවත් මෙහිදී පෙන්වා දුන්නෙමි.
මම පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව මෙසේය.
ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අපි රජයක් ලෙස මූලිකත්වය ගත්තේ ජනතාව ආරක්ෂා කරන්න. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගන්න ඕන හැම තීරණයක් ම අපි නිසි වෙලාවට ගත්ත කියල අපි තමුන්නාන්සේලට මතක් කරන්න ඕන.
මම මේ දේවල් කියන්නේ එම කටයුතු කළමනාකරණය කරන්න අග්රාමාත්ය කාර්යාලය කළ කාර්යභාරයත් සිහිපත් කරන්න.
කොවිඩ් වසංගතය ආරම්භයේ දී අපේ රජය අතවශ්ය සේවා කටයුතු සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කළා. එම ජනාධිපති කාර්ය සාධක බලකාය අග්රාමාත්ය කාර්යාලයේ සිට අප‌‌ගේ අධීක්ෂණය යටතේ කටයුතු කළා. ජනතාවගේ අතවශ්ය සේවා ඉටු කිරීමටත් ජනතාවගේ ගැටළු විසඳීමටත් දවසේ පැය 24 පුරා ම අග්රාමාත්ය කාර්යාලය කටයුතු කළ බව අපි තමුන්නාන්සේලට මතක් කරන්න ඕන. ඒ වගේ ම අපි පක්ෂ නායකයන් සමඟ අදහස් හුවමාරු කර ගත්තා. ජනතාවගේ අතවශ්ය සේවා සහ සෞඛ්ය පහසුකම් ලබා දීමට අපි හැම අවස්ථාවක දී ම මැදිහත් වුණා. වෛද්යවරුන් ආරක්ෂක හමුදාවන් ඒ වෙනුවෙන් තමන්ගේ කටයුතු යුතුකම් ඉටු කළා.
අපි දන්නවා, කොවිඩ් වංසගතයෙන් ඇති වූ ආර්ථික අවපාතය තදින් ම රටට බලපාල තියෙන බව. ව්යාපාර ‌බොහෝමයක් කඩා වැටිලා. රජය මේ අවස්ථාවේ සැලසුම් කරන්නේ කොවිඩ් වංසගතයෙන් වැටුණු ආර්ථිකය ගොඩනගන්න. ඒ අනුව තමයි මුදල් ඇමතිතුමා කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් ඇතුළත් අයවැයක් මෙවර ඉදිරිපත් කළේ. ජනතාවගේ පැත්තෙන් සිදුවන ආර්ථීක හා සමාජයීය සංවර්ධනය රටට අවශ්යයයි. මේ අසීරු අවස්ථාවේ දී ඒ අයට නැගිටින්න පුළුවන් ආර්ථිකයක් ගොඩනඟන එක තමයි අපේ බලාපොරොත්තුව.
2019 අපි බාරගත්තේ කඩා වැටුණු ආර්ථීකයක් ඒක මතක් කරන්න ඕන. ඒ ආර්ථිකය ඔසවා තබන්න අපේක්ෂාව මෙවර අයවැය යෝජනාවල තියෙනවා. සුපුරුදු පරිදි තම තමන්ගේ දේශපාලනය වෙනුවෙන් කරන වාද විවාද කරනවා අපි දැක්කා. ඒ වුණත් විරුද්ධ පක්ෂය ඉදිරිපත් කරන යම් සාධනීය අදහස්වලටත් අපි සවන් දෙනවා. ඔබතුමන්ලා සාධනීය අදහස් ඉදිරිපත් කළොත් අපි එයට සවන් දෙන්න සූදානම්. අපි මේ වෙලාවේ සාමූහිකව රටේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතුයි. ජනතාව වෙනුවෙන් ඒ යුතුකම ඉටු කරන්න මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ සියලු ම මන්ත්රීවරුන්ට හැකියාව තිබෙනවා.
2022 වසර සදහා නව ව්යාපාර ලියාපදිංචි කරන ව්යවසායකයන්ගෙන් කිසිදු ලියාපදිංචි ගාස්තුවක් අපි අය කරන්නේ නැහැ. අපේ රටේ තරුණ තරුණයින්ට ආරාධනා කරනවා නව ව්යාපාරික අදහස්වලින් රටේ ආර්ථික සංවර්ධනය ගොඩනගන්න එකතු වෙන්න කියලා. ඒ වගේ ම විදේශීය විනිමය රටට ගෙන ඒමටත් දායක වෙන්න කිලා.
අපි ජනතාවට පොරොන්දුවක් දුන්නොත් ඒ පොරොන්දු ඉටුකළ යුතුයි. වසර 25කට ආසන්න කාලයක් නොවිසඳුණු ගුරු විදුහල්පති වැටුප් විෂමතාව මෙවර අයවැයෙන් විසඳන්න අපි කටයුතු කරමින් පවතිනවා.මෙවර අය වැයෙන් අධ්යාපනය වෙනුවෙන් වැඩිම මුදල් ප්රමාණය වෙන් කරලා තියෙනවා. අපි මේ හැම දේම කරන්නේ රටේ අනාගතය වෙනුවෙන්. අභියෝග හමුවේ රට ගොඩගැනීමට අප දරන වෙහෙසට ඔබ සියලු දෙනාගේම සහය ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.
අපි විපක්ෂයේ කරන යෝජනා ඒ වගේ ම විවේචන සාවදානව අහගෙන හිටියා. සමහර විවේචන අසාධාරණයි. විවේචනවල සාධාරණයක් තියෙනම් ඒ විවේචන අපි පිළි අරගෙන ඒවා නිවැරදි කරන්න ඕනෑ ම වේලාවක අප සූදානම් බව මේ අවස්ථාවේදි මතක් කරනවා. ආණ්ඩුක්රම ව්යවස්ථාව ගැන කථා කළා අපි දැන් කෙටුම් පතක් සකස් කරගෙන යනවා. ඒක පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වෙත ඉදිරිපත් කරලා එය සාකච්ඡාවට ලක් කරන බව මතක් කරනවා. ඒ නිසා ඒ පිළිබඳව රහසිගතව අපි කටයුතු නොකරන බව තමුන්නාසේලාට මතක් කරනවා."