මෙරට පලමු වරට අධි තාක්ෂණික කේබල් මත ඉදිකල කල්‍යාණි රන් පිවිසුම නව කැළණි පාලම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනතා අයිතියට පත්කෙරිණ.

පුනර්ජනනීය බලශක්තිය මගින් මෙරට ඛනිජ තෙල් අර්බුදය නැති කිරිමට පියවර ගන්නා බව පාලම විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය. විදුලියෙන් ධාවනය වන වාහන ගෙන්වීම වැනි යෝ්ග්‍ය විසදුම් බලශක්ති අර්බුදය විසදීම සදහා යොදාගත යුතුවේ. මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන විට විපක්ෂය අසත්‍ය මත පතුරවමින් ඊට බාධා කරයි.

වස විසෙන් තොර කාබනික පොහොර භාවිතයෙන් පෝෂණීය ආහාර වේලක් ජනතාවට ලබාදිමට ගත් ජාතික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට රජය පියවර ගෙන ඇති බව ජනාධිපතිතුමා එහිදි කියා සිටියේය. කොවිඩ් ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරිමට රජය සමත්විය. 2019 පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ එවකට සිටි පාලන තන්ත්‍රය සහ අමාත්‍ය මණ්ඩලය බවට ඔවුන් විසින්ම පත්කරන ලද ජනාධිපති කොමිසම තීරණය කර ඇත. ඊට සම්බන්ධ වරදකරුවන්ට දැඩි දඩුවම් ලබාදිමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිතුමා එහිදී අවධාරණය කර සිටියේ ය

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උත්සවය අමතමින් අවධාරණය කළේ ඉදිරියට එන ඕනෑම අභියෝගයක් ජයගැනීමට රජය සමත්වන බවයි. වසංගත තත්ත්වය හමුවේ පවා සංවර්ධන වැකටයුතු ඉදිරියට ගෙන යාමට ජනාධිපතිතුමාගෙන් උපදෙස් ලැබුණු බවද අමාත්‍යවරයා එහිදී සිහිපත් කළේය.