දිවයිනේ සියලු පාසල් සදහා 2022 පලමු පාසල් වාරය ලබන අප්‍රේල් මස 18 වැනිදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 2021 තුන්වැනි පාසල් වාරය අවසන් වන්නේ ලබන වසරේ අප්‍රේල් 08 වැනිදායි. 2021 වසරට අදාලව පාසල් විභාග පැවැත්වෙන දින සහ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාරය අවසන් කිරිම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා නිකුත් කළ චක්‍රලේඛයක එම කරුණු සදහන් වෙයි.

සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් පරිවෙණාධිපති ස්වාමින් වහන්සේ හා විදුහල්පතිවරුන් වෙත මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

2021 වසරට අදාල පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන ජනවාරි 22 වැනිදා පැවැත්විමට නියමිතයි. අපොස උසස් පෙළ විභාගය පෙබරවාරි 07 වැනිදා සිට මාර්තු 05 වැනිදා දක්වා ද අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි 23 වැනිදා සිට ජූනි 01 වැනිදා දක්වා පැවැත්විමට ද විධිවිධාන යොදා තිබේ.

මේ වසරේ නත්තල වෙනුවෙන් සියලු පාසල් සදහා දෙසැම්බර් 23 වැනිදා නිවාඩු දිනයකි. දෙසැම්බර් 27 වැනිදා පාසල් යලි ආරම්භ කෙරේ. අපොස උසස් පෙළ විභාගය පැවැත්විම සදහා ලබන පෙබරවාරි 03 වැනිදා සියලු පාසල් වලට නිවාඩු හිමිවෙයි. එහෙත් ප්‍රාථමික ශ්‍රේණි සදහා නිවාඩු නොලැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

උසස් පෙළ විභාගයෙන් පසුව මාර්තු 07 වැනිදා පාසල් යලි ආරම්භ කෙරේ. අප්‍රේල් 09 වැනිදා සිට අප්‍රේල් 17 වැනිදා දක්වා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාසල් නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සදහා අප්‍රියෙල් 01 වැනිදා සිට මැයි 03 වැනිදා දක්වා නිවාඩු ලැබේ. එම පාසල් යලි ආරම්භ කෙරෙන්නේ මැයි මස 04 වැනිදායි 2021 අපොස සාමාන්‍ය පෙළ සිසුන්ගේ අධ්‍යයන වර්ෂය ලබන අප්‍රියෙල් 08 වැනිදායින් අවසන් වෙයි.