සෞභාග්‍යයේ දැක්ම යතාර්ථයක් බවට පත්කරමින් ශ්‍රී ලාංකේය ජනමාධ්‍ය වෘත්තීයවේදීන්ගේ කාර්ය භාරය සඳහා අවශ්‍ය නිරවුල් පරිසරයක් නිර්මාණය කිරීමේදී රජයේ වගකීමේ එක් දිගුවක් ලෙස නිරෝගී සෞඛ්‍ය සම්පන්න මාධ්‍ය වෘත්තිකයෙක් බිහිකිරීම  සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබයි.

වගකීම් සහගත මාධ්‍ය කලාවක් උදෙසා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ රැකවරණය වෙනුවෙන් “සෞභාග්‍යයේ මාධ්‍යවේදී රැකවරණය” නමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පිරිනැමෙන “ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණාවරණය”  අතිගරු  ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ සහ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ  සම්භාවනීය ප්‍රධානත්වයෙන් සහ ගරු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2021 දෙසැම්බර් මස 02 වැනි දින පෙ.ව. 10.00 ට අරලියගහ මැඳුරේදී පැවැත්වේ.

කිසිදු අයකිරීමකින් තොරව ලබාදෙන මෙම රක්ෂණාවරණයේ  ප්‍රතිලාභ වශයෙන් නේවාසික ප්‍රතිකාර ආවරණය, බාහිර ප්‍රතිකාර ආවරණය, අසාධ්‍ය රෝග ආවරණය, ශ්‍රවණාධාර සහ ඇස් කණ්නාඩි ආවරණය, පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණය සහ කොවිඩ් 19 ආවරණය වැනි ප්‍රතිලාභ රැසකින් සමන්විතයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම රක්ෂණ යෝජනා ක්‍රමය තුළින් මාධ්‍යවේදීන් තුන්දහසකට පමණ රක්ෂණාවරණ ලබාදීමට තීරණය කර ඇති අතර සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් සංකේතාත්මකව මාධ්‍යවේදීන් 98 දෙනෙක් සඳහා මෙහිදී රක්ෂණ හිමිකම් ලබාදෙනු ඇත‍.

මෙම අවස්ථාවට ගරු අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මැතිතුමන් ඇතුළු මාධ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් සහභාගීවීමට නියමිතයි.