මෙරට ගුවන් විදුලි සේවා ආරම්භ වී අදට වසර 96 ක් සපිරෙයි. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර හියු ක්ලිෆර්ඩ් මහතාගේ මුලිකත්වයෙන් 1925 දෙසැම්බර් 16 වැනිදා මෙරට ගුවන් විදුලි සේවා නිල වශයෙන් ආරම්භ කෙරිණි. ආරම්භයේදී විදුලි සංදේශ දෙපාර්තමේන්තුව යටතේ පැවති ගුවන් විදුලි සේවය 1949 ඔක්තෝබර් 01 වැනිදා රේඩියෝ සිලෝන් යන නමින් නව දෙපාර්තමේන්තුවක් ලෙස ප්‍රතිෂ්ථාපනය කෙරිණි. ජෝන් ඒ. ලැම්ප්සන් මහතා ගුවන් විදුලි දෙපාර්තමේන්තුවේ ප්‍රථම අධ්‍යක්ෂවරයායි. 1967 ජනවාරි 05 වැනිදා ලංකා ගුවන්විදුලි දෙපාර්තමේන්තුව සංස්ථාවක් ලෙස යලි ප්‍රතිෂ්ථාපනය කෙරුණු අතර, නෙවිල් ඩී. ජයවිර මහතා එහි ප්‍රථම සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්වරයා විය. මේ වනවිට ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව දේශිය වශයෙන් සිංහල සේවා තුනක් දෙමළ සේවා දෙකක්’ සහ ඉංග්‍රිසි සේවයක් ප්‍රචාරය කරයි. විදේශිය සේවා පහක් ප්‍රචාරය කෙරේ. රජරටි රුහුණ, කදුරට, වයඹ හඩ, යාපනය, ඌව ගුවන්විදුලිය හා පිරෙයි එෆ්.එම් සංස්ථාව සතු ප්‍රාදේශිය සේවා වෙයි. දඹාන රේඩියෝව ප්‍රජා ගුවන්විදුලියක් ලෙස ක්‍රියාත්මකයි ආසියාවේ ප්‍රධානතම ගී තැටි පුස්තකාලය තවදුරටත් ඇත්තේ ජාතික ගුවන්විදුලිය සතුවය. ඉන්දියාවේ ද සොයාගත නොහැකි ඉතාමත් දුර්ලභ හින්දි ගී තැටි ජාතික ගුවන්විදුලිය සතුය. ලෝකයේ විවිධ ජනනායකයින්ගේ හඩ කොටස් ඇති එකම පුස්තකාලයටද ජාතික ගුවන්විදුලිය හිමිකම් කියයි.
ආසියාවේ පළමු ගුවන් විදුලි සේවය වශයෙන් ආරම්භ වූ ජාතික ගුවන් විදුලිය ශ්‍රී ලාංකේය සංස්කෘතියේ ජාතික අනන්‍යතාව රැකගැනීම උදෙසා කළ මෙහෙවර අද්වීතීයය. මෙරට භාෂාව සාහිත්‍යය නාට්‍ය අධ්‍යාත්මික ගුණ වගා, සෞඛ්‍යය, කෘෂිකර්මය, ජාතික සංවර්ධනය, ජාතික සමගිය හා සංහිඳියාව උදෙසා සිංහල, දෙමළ හා ඉිංග්‍රීස භාෂත්‍රයෙන්ම වැඩසටහන් ප්‍රචාරය කරමින් ජාතිය පෝෂණය කිරීමට ජාතික ගුවන් විදුලිය සමත් විය. ජාතික ගුවන් විදුලියට වසර 96 ක් සපිරීම නිමිත්තෙන් සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ අනු නායක පූජ්‍ය වෙඩ්රුවේශ්‍රී උපාලි ස්වාමීන්වහන්සේ ආශිර්වාදය පළ කරති.

සිංහල භාෂා භාවිතය නිවැරදිව සිදුකරන ජාතික ගුවන් විදුලිය සිය අධ්‍යාපන කාර්යය ඉතා වගකීමෙන් ඉටු කරමින් සිටින බව සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා පවසයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ ජාතික ගුවන් විදුලිය ආරම්භයේ සිට මේ දක්වා ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතාව මෙන්ම සංස්කෘතික සහ අධ්‍යාත්මික ජීවිතය පෝෂණය කිරීම වෙනුවෙන් අති විශේෂ සේවාවක් ඉටු කරන බවයි.

දේශීය අනන්‍යතාව සුරකිමින් භාෂා භාවිතය යහපත් මට්ටමින් පවත්වාගෙන යාමට ජාතික ගුවන් විදුලිය ගන්නා උත්සාහය අගය කළ යුතු බව රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සේන නානායක්කාර මහතා පවසයි.


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට වසර 96 ක් සපිරීම නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙ. ජාතික ගුවන් විදුලි පරිශ්‍රයේදී අද දින සියක් නමක් සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවකි. නවක ධර්ම දේශක පරපුරක් බිහි කිරීමේ අරමුණ ඇතිව ධර්ම දේශනා පුහුණු අපේක්ෂාවෙන් පසුවෙන භික්ෂූන්වහන්සේ 80 නමක් හා මෙහෙණින්වහන්සේ 20 නමක් පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. මෙම වැඩසටහන පසුගිය 14 වෙනිදා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේදී ආරම්භ විය. මහාචාර්ය පුජ්‍ය මැදගම්පිටියේ විජිත ධම්ම ස්වාමින්වහන්සේ මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින්වහන්සේ. මහාචාර්ය පුජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් හා මග පෙන්වීම යටතේ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් වැඩසටහන සංවිධාන කර තිබෙ.අද දින භික්ෂූන්වහන්සේ උදෙසා ධර්ම සන්නිවේදනය හා එහි ඉතිහාසය පිළිබඳ දේශන හා ප්‍රායෝගික හඩ් පරීක්ෂණයක් සිදු කිරීමට සැළසුම් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 96 වෙනි සංවත්සරය නිමිත්තෙන් කඳුරට සේවය පරිශ්‍රයේදි අද පෙරවරුවේ සෙත්පිරිත් දේශනාවකි. පොහෝ දින සදහම් ප්‍රදීපනී වැඩසටහනට සමගාමීව වෛද්‍ය සායනයක් සහ පැළ බෙදාදීමේ වැඩසටහනක් ද සංවිධාන කර තිබේ. කඳුරට සේවය සංවිධාන කරන 96 වන ප්‍රභාෂ්වර සංගීත ප්‍රසංගය මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නව ශ්‍රවණාගාරයේදී අද පස්වරු 01.30 සිට පැවැත් වේ කඳුරට සේවය හා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙය සංවිධාන . දිස්ත්‍රික් ලේකම් කරුණාසිරි පෙරේරා මහතා ඇතුඑ’ ආරාධිතයෝ රැසක් මෙම අවස්ථාවට එක්වෙති’ ප්‍රසංගය කඳුරට සේවය ඔස්සේ ද ප්‍රචාරය කෙරේ.