කොවිඩ් 19 වයිරස් රෝගයේ භයානක ප්‍රභේදයක් වන ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විට ලෝකයේ රටවල් කිහිපයකටම ව්‍යාප්ත වෙමින් පවතී. ඒ අතර ඇතැම් රාජ්‍යයන් මේ නිසා ලොක්ඩවුන් කිරීමට පවා යොමු වී තිබේ. ඒ ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන බැවිනි. ඩෙල්ටා ප්‍රභේදයෙන් එක් රෝගියකුගෙන් තවත් රෝගීන් දෙතුන් දෙනකුට පමණක් රෝගය බෝවිය හැකි වුවත් ඔමික්‍රෝන් ප්‍රභේදය වැලඳුන රෝගියකුගෙන් ඊට වඩා රෝගීන් රැසකට මෙම රෝගය බෝවීමේ ප්‍රවණතාවක් තිබේ. මෙය අතිභයානක තත්ත්වයක් වනුයේ රෝගීන් රැසකට රෝහල් පහසුකම් සැපයීමේ හැකියාව නොමැති විය හැකි බැවිනි.
මේ වන විට ඔමික්‍රෝන් ශ්‍රී ලංකාව ද ආක්‍රමණය කොට තිබේ. ගුවන් තොටුපළ තුළ කෙතරම් ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරුණ ද පසුගිය සතියේ ද ඔමික්‍රෝන් ප්‍රභේදය වැලඳුණ රෝගීන් තිදෙනෙක් විදෙස් රටවලින් මෙරටට පැමිණියහ. ආරක්ෂක වැඩපිළිවෙළ සියයට සියයක්ම සාර්ථක නොවන බව ඉන් මනාව පැහැදිලිය. එහෙත් මෙහි දී ගුවන්තොටුපළ වසා තැබිය නොහැකිය. සංචාරක ව්‍යාපාරය කඩා වැටීම නිසා මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එය විශාල වශයෙන් බලපා තිබේ. මේ නිසා ශ්‍රී ලංකාව තුළ ආරක්ෂිත රැකවල් තර කරනු මිස වෙනත් කිසිවක් කළ හැකි නොවේ.
විදෙස් රටවලින් මෙරටට පැමිණි කොරෝනාවට එරෙහි එන්නත් වර්ග බොහොමයකි. ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ෆයිසර්, මොඩර්නා මේ අතර වේ. මේ සෑම එන්නතක්ම මාත්‍රා දෙකකින් ජනතාවට ලබා දෙන ලදී. එමෙන්ම ඒ සෑම එන්නතක්ම ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව මැනවින් ක්‍රියාත්මක වූ බව මේ වන විට පැහැදිලිය. අද වන විට කොරෝනා ආසාදිත රෝගීන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වී ඇති අතර මිය යන රෝගීන් ප්‍රමාණය ද අඩු වෙමින් පැවතීම ඊට ප්‍රධානම සාක්ෂි වේ.
එහෙත් එම මාත්‍රා දෙක ඩෙල්ටා ප්‍රභේදය සඳහා ප්‍රමණාවත් වුව ද ඔමික්‍රෝන් සඳහා ප්‍රමාණවත් නොවන බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බූස්ටර් එන්නත අනුමත කොට තිබේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ද බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත අනුමත කොට තිබේ. මෙරට පුරවැසියන්ගෙන් වයස අවුරුදු විස්සට වැඩි දෙවන මාත්‍රාව විද මාස තුනක් ගත වූ පසු මෙම බූස්ටර් එන්නත විද ගත හැකිය.
මේ වන විට වයස අවුරුදු හැට ඉක්ම වූ පුරවැසියන්ට බූස්ටර් එන්නත විදීම රට පුරාම ඉතා සාර්ථක ලෙස ආරම්භ වී තිබේ.
එහෙත් අනෙක් එන්නත් මෙන් නොව මෙම තෙවැනි එන්නත් මාත්‍රාව ගැනීමට ඇතැම් පිරිස් දක්වන්නේ බියකි. ඒ විවිධ කටකතා හේතුවෙනි. කටකතා යනු අපේ රටේ ඉතා ජනප්‍රිය කතා විශේෂයකි. එය රට තුළ සිදු වන සෑම හොඳ හෝ නරක සියලු දේ අරභයා සිදු වන්නකි. එන්නත් සඳහා ද සිදු වී ඇත්තේ එවැන්නකි. මිනිසුන් දස දෙනකු අතරින් එක් අයකු තුළ අනිවාර්යයෙන්ම මෙම බූස්ටර් එන්නත සම්බන්ධව ඇත්තේ විරුද්ධ මතයකි. එසේ හෙයින් හේ මෙම දස දෙනාගෙන් දෙදෙනකු හෝ තමන්ගේ මතයට හරවා ගැනීමට ප්රයත්න දරයි. එහෙත් මෙම තුන් දෙනාටම සිදු වන්නේ අනර්ථයක් බව ඔවුනට හැඟී යනුයේ ප්‍රමාද වීය. එවිට ප්‍රමාදය හේතු වන්නේ පසුතැවිල්ලකටය. මේ නිසා අප්‍රමාදීව බූස්ටර් එන්නත විද ගැනීම අනිවාර්යයෙන්ම සෑම පුරවැසියකු විසින්ම කළ යුත්තකි.
ඔමික්‍රෝන් ඉතා ක්‍රියාශීලි වයිරස් ප්‍රභේදයක් බව සිතට ගත යුතුය. නිවැරැදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැද්ද ද එක් නිමේෂයක දී වයිරසය තමන්ගේ ශරීරය තුළට ඉතා වේගයෙන් ඇතුළු විය හැකිය. එය එක් මොහොතක පිපාසය සංසිඳවීම සඳහා කාර්යාලයේ දී ජලය පානය කරන අවස්ථාවක දී විය හැකිය නැතහොත් දිවා ආහාර අනුභවයේ දී විය හැකිය. එසේත් නැතහොත් කාර්යාල මිතුරන් සමඟ හෝ නෑදෑ හිතමිතුරන් සමඟ මත්පැන් සාදයක දී විය හැකිය. මේ නිසා ආරක්ෂාරකාරී වීම වඩාත් වැදගත්ය.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳව ද ජනතාව තුළ විවිධ අර්ථකතන සමාජ වෙබ් ජාලා හරහා සමාජගත විණි. සෑම දෙයකම විවිධ අතුරු ප්‍රතිඵල තිබේ. එය ඉතා සුලු වශයෙනි. ඇස්ට්‍රාසෙනෙකා එන්නත මඟින් රුධිරය කැටි ගැසීම් පිළිබඳ ව වාර්තා වුණ ද එය එකක් හෝ දෙකක් පමණි. එහෙත් ඉන් සිදු වුණ යහපත් ප්‍රතිඵලය වූයේ රෝගය බෝවීම සහ ව්‍යාප්තිය සාර්ථකව පාලනය වීමකි. සිදු විය යුත්තේ ද එයය.
වයස අවුරුදු විස්සට අඩු දරුවන්ගේ ශරීර තුළ වසංගතයට එරෙහිව නැඟී සිටීමේ ප්‍රතිශක්තිකරණය යහපත් පරිදි තිබේ. මේ නිසා කොරෝනා රෝගයෙන් ආරක්ෂාකාරී වීමට නම් වයස අවුරුදු විස්සට වැඩි ජනතාව පෙර එන්නත් ද්විත්වය ලබා ගත් පරිදිම බූස්ටර් එන්නත ද ලබා ගත යුතුය.
පෙර එන්නත් මාත්‍රා දෙක විද කාලයක් ගත වී ගොස් ඇති හෙයින් ඒවායේ ප්‍රතිශක්තිකරණය මේ වන විට අඩු වෙමින් පවතී. බූස්ටර් එන්නතෙහි අවශ්‍යතාවය වඩාත් දැනෙන්නේ එබැවිනි. එමෙන්ම ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය ද මෙහි භයානක තත්ත්වයයි.
සංචරණ සීමා පැනවීම, රට ලොක් ඩවුන් කිරීම ජනතාව ද රජය ද පීඩාවට පත් කරන්නකි. මේ නිසා ජනතාවගේ වගකීම විය යුත්තේ තමා ද තමාගේ සමීපතමයන් ද රට ද ආරක්ෂා කර ගැනීම සඳහා බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමයි. අනෙක් එන්නත්වලට දැක්වූයේ හුඹස් බියක් සේම මෙය ද හුඹස් බියක් බව අවබෝධ කර ගත යුතුය. ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවක් කර නොගත යුතුය.