මේ වනවිට ඇණවුම් කරන ලද පොහොර තොග මෙරටට ලැබී තිබෙන බවත් ඉදිරියේදී තවත් පොහොර තොග ඇණවුම් කරන බවත් වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි
ඒ අනුව ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට පොහොර අර්බුදය සම්පූර්ණයෙන්ම විසඳීමට හැකිවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය. බත්තරමුල්ල,සෙත්සිරිපායේ පිහිටි වැවිලි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (27) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
තේ වගාවට පොහොර සහනාධාරයක් ලබාගැනීම සඳහා සාකච්ඡාවක් ලබාදෙන ලෙසට තේ වගා කරන දිස්ත්‍රික්කවල ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කර තිබූ ඉල්ලීමක් අනුව මෙම සාකච්ඡාව පැවැත්විණ.
 
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.
රසායනික පොහොර තහනම් කිරීමත් සමඟ ඇතිවූ අර්බුදය මේ වනවිට තරමක් දුරට විසඳිලා. දැන් පෙහොර තිබෙනවා. නමුත් විශාල මුදලකට පොහොර අළවි කිරීම නිසා තවත් අර්බුදයක් ඇති වෙලා. මේ වනවිට වෙළඳපොලේ පොහොර මිල මිනිස්සුන්ට දරාගන්න බැහැ. ඒ නිසා කිසියම් සහනදායි ක්‍රමවේදයකට පොහොර ලබාදෙන්න කියලා අපිට ඉල්ලීම් ලැබෙනවා. ඒ අනුව මේ නිසා තේ දළු කිලෝ 100 ට පොහොර කිලෝ 40ක් ලබාදෙන්න රජය තීරණය කර තිබෙනවා. එය දැනටත් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ වනවිට ඇණවුම්කරන ලද රසායනික පොහොර ලැබිල තිබෙනවා. නමුත් වෙළඳුන් තමන්ට හිතෙන හි‌තෙන මිල ගනන් වලට පොහොර අළවි කරනවා. කොහොම වුනත් ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට පොහොර අර්බුදය
සම්පූර්ණයෙන්ම විසඳේවි. පොහොර මිලත් අඩුවේවි. නමුත් මේ අන්තර් කාලයේදී මිනිසුන්ට යම් සහනයක් ලබාදිය යුතුයි. අමාත්‍යංශය විදියට අපි දැන් මැදිහත් වෙන්නේ ඒ සඳහායි.
 
 
කනක හේරත්, ජයන්ත සමරවීර යන රාජ්‍ය අමාත්‍යවරුන්ද, සම්පත් අතුකෝරළ,අනූප පැස්කුවල්,ලලිත් ඒල්ලාවල, ගාමිණි වලේබොඩ යන පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීනී මුදිතා සොයිසා මහත්මියද, වැවිලි අමාත්‍යංශ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.