ශ්‍රී ලංකාව සහ චීනය අවබෝධතා ගිවිසුම් 4 කට එළඹෙයි. ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම, කොළඹ අඩු ආදායම්ලාභීන් සඳහා සහනාධාර නිවාස ව්‍යාපෘතිය පිළිබඳ හුවමාරු ලිපිය, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තාක්ෂණික සහයෝගීතා ව්‍යපෘතිය භාරදීමේ සහතිකය සහ වකුගඩු රෝග ජංගම පරීක්ෂණ ගිලන් රථ වාහන සඳහා තාක්ෂණික සහයෝගීතාවට අදාල ව්‍යාපෘතිය භාර දීමේ ලිපිය යන ගිවිසුම් ඒවා වේ. දිවයිනට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ඊයේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම ගිවිසුම්වලට අත්සන් තැබිණි. සිය අධ්‍යයන කටයුතු අවසන් කිරීම පිණිස යළි චීනය බලා පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට ඊට අවශ්‍ය පහසුකම් සලසන්නැයි රාජපක්ෂ මහතා එහිදී විශේෂ ඉල්ලීමක් කළේය. ශ්‍රී ලාංකික සිසුන්ට ඉහළම ප්‍රමුඛතාව ලබාදෙන බව සඳහන් කළ චීන විදේශ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය හා සමීපව කටයුතු කරන ලෙසට මෙරට චීන තානාපතිවරයාට උපදෙස් දුන්නේ ය. එන්නත්කරණ වැඩසටහනට තව දුරටත් සහාය දීම. වරාය නගරයට සහ හම්බන්තොට කර්මාන්ත කලාපයට ආයෝජන ආකර්ශනය කර ගැනීම, දෙරට අතර සංචාරක කර්මාන්තය දියුණු කරගැනීම සහ මෙරට අපනයන ඉහළ නැංවීම ආදී කරුණු රැසක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.
මේ අතර කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගනය ඉදිරිපස පිහිටි පදික මංතීරුව මහජනතාව සදහා විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරිණි. මෙම පදික මංතීරුව වෙත පාගමනින් පැමිණිමට ජනතාවට දැන් අවස්ථාව හිමි වී ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඒ සදහා තාවකාලික පිවිසුම් දොරටුවක් ඉදිකර තිබේ. වරාය නගරයේ ආරුක්කු හැඩති ලෝහමය එල්ලෙන පාලම දක්වා ජනතාවට මෙම පදික මංතීරුවේ ගමන් කල හැකිය. දිනපතා පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා එහි රැදි සිටිමට ද අවස්ථාව හිමිවේ. එහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීනය අපගේ කල්‍යාණ මිත්‍රයෙකු බවත් ඉතිහාසයේ කොතනකවත් අප අතර සිත් පලදුවීම් සිදුවී නැති බවත් සදහන් කලේය.