කොරෝනා වසංගතය හේතුවෙන් අහිමිව ගිය දෙවසර අමතක කර ඉදිරි තෙවසර පිළිබඳව අපේක්ෂා තබා ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ගෙවි ගිය කාලය වැදගත් වන්නේ විපක්ෂයටයි. අප සැමවිටම භාරගත යුත්තේ අතීතය නොව අනාගතයයි. රට පිළිබඳ තිබෙන සුබවාදි බලාපොරොත්තු කිසිවෙකු අත්හැරිය යුතු නොවන අතර ගෙවුනු වසර දෙකක කරගසාගෙන යාමට විවේචකයන්ට භාරදී අනාගතය භාර ගනිමු යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියර විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ රට පිළිබඳව තිබෙන සුබවාදි බලාපොරොත්තු කිසිවෙකු අත්හැරිය යුතු නොවන බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එහි ඉදිකිරීම් අද පෙරවරුවේ ආරම්භ කෙරින. අදියර තුනක් යටතේ ක්‍රියාත්මක එහි ඉදිකිරීම් 2024 දී අවසන් කිරීමට නියමිතය. එහි වැඩ නිම කිරීමෙන් පසු නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදුකරන දොඹකර 12 ක් සහ ගැන්ටි දොඹකර 40 ක් සමග අංගසම්පුර්ණ පර්යන්තයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවේ. වැය කිරීමට අපේක්ෂිත මුදල ඩොලර් කෝටි 51 කි. ඉන් ඩොලර් කෝටි 20 ක් වරාය අධිකාරිය සපයයි.

ලෝකයේ වරාය ශ්‍රේණිගත කිරීමේ නිර්නායකයට අනුව කොළඹ වරාය 23 වන ස්ථානයේ පසුවෙයි. නව සංවර්ධන කටයුතු අවසන්වීමෙන් පසු එය 13 වන ස්ථානයට පත්වනු ඇතැයි අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා එහිදී සදහන් කළේය.