සශ්‍රීක කෘෂි කර්මාන්තය රැක දුන් සූර්ය දෙවියන්ට කෘතවේදීත්වය පළ කරන තෛපොංගල් උලෙළ හින්දු බැතිමතුන්ගේ සුවිශේෂ ආගමික හා සංස්කෘතික මංගල්‍යයකි.
ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් සමඟ ඒ වෙනුවෙන් කැප වී සිටින අපගේ සහෝදර ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන්ට මාගේ සුබ පැතුම් එක් කරනුයේ ඉමහත් සතුටිනි.
තෛපොංගල් උලෙළ සාම්ප්‍රදායික හා සාර්ථක ලෙස පැවැත්වීමෙන් අනාගතයේ සරුසාර අස්වැන්නක් සඳහා සූර්ය දෙවියන්ගේ ආශීර්වාදය සහ රැකවරණය ලැබෙන බව හින්දු ජනතාවගේ විශ්වාසයයි.
සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් හින්දු බැතිමතුන් විසින් පවත්වන චාරිත්‍ර ශ්‍රී ලාංකික ජන සමාජයට අනාදිමත් කාලයක සිට ඉතා සමීප ය.
කෘෂි ආර්ථිකය මත පදනම් වූ සංස්කෘතියකට උරුමකම් ඇති ශ්‍රී ලාංකික ජනයා තෛපොංගල් උලෙළ දෙස බලා සිටින්නේ අප්‍රමාණ ගෞරවයෙනි.
සොබාදහමට අනුකූල ජීවන රටාවත් සමඟ සශ්‍රීකත්වය කරා අප පියවර තැබිය යුත්තේ හරිත කෘෂි කර්මාන්තය මත පදනම් ව ය.
එබැවින්, හරිත කෘෂි කර්මාන්තයක් සඳහා වන ජාතික ප්‍රතිපත්තිය සාර්ථක වනු දැකීම බහුතර ශ්‍රී ලාංකික ජනතාවගේ අපේක්ෂාවයි. ඒ සඳහා මෙම තෛපොංගල් සමය දැඩි උද්යෝගයක් සපයන බව මම තරයේ විශ්වාස කරමි.
මෙම වසරේදීත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඔබත්, ඔබේ ආදරණීයයනුත් ආරක්ෂා වන පරිදි තෛපොංගල් සැමරීමට ඔබ සියලු දෙනා අවස්ථාව සලසා ගත යුතු වේ.
සුරක්ෂිත දේශයක සෞභාග්‍යය හා සශ්‍රීකත්වය වෙනුවෙන් කැප වී සිටින ඔබට, සූර්ය දෙවියන්ගේ ආශීර්වාදය සහ රැකවරණය නිතැතින් උදා වේවා! යි ප්‍රාර්ථනා කරමි.