රටේ ජනජීවිතය නගා සිටුවීම අරමුණු කරගත් සෞභාග්‍යා වැනි ව්‍යාපෘති ඉදිරියටත් ක්‍රියාත්මක කළයුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. කජු, කුරුදු, වේවැල් යනාදිය අගය එක් කළ නිෂ්පාදන ලෙස අපනයනය කොට ලෝක වෙළෙද පොලේ ශ්‍රී ලාංකීය සන්නාමය ඔසවා තැබීමට ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙලට හැකිවී ඇතැයි ද ඇමතිවරයා කියයි. තිහගොඩ, බටුවිට සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානයේ ප්‍රතිලාභ බෙදාදීම වෙනුවෙන් ඊයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.
 
තොරතුරු තාක්ෂණයේ දියුණුව සහ අන්තර්ජාලය හේතුවෙන් මුළු ලෝකයම අද විශ්ව ගම්මානයක් බවට පත්ව තිබේ. පොලිතීන්, ප්ලාස්ටික් වැනි පරිසරයට හානිකර අපද්‍රව්‍යවලට එරෙහිව ලොව පුරා හඩක් නැගෙමින් තිබේ. මිනිසුන් විකල්ප සොයමින් සිටින වේලාවක සෞභාග්‍යා නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙදපොලට රැගෙන යා හැකි නවමු මං සෙවිය යුතු බව ඇමතිවරයා පෙන්වා දෙයි. 
 
"ගමක් ගානේ ගිහිල්ලා, වේවැල් කපාගෙන ඇවිල්ලා අමාරුවෙන් මේක රැහැලා බඩු ටික හදාගෙන කරේ තියාගෙන ගමක් ගමක් ගානේ ගිහිල්ලා විකුණපු ඒ යුගය නවත්තලා විසි එක්වැනි සියවසේ බට කාර්මිකයා අප නිර්මාණය කරගත යුතුයි. අපි ප්‍රතිපත්ති තීරකයෝ විදිහට නායකත්වය දිය යුත්තේ එයටයි. එහෙම නැතිව ජන්ද කාලෙට ඇවිත් මනාප ටික හිගමනේ යන එකට නෙවෙයි. ඒකට අපි නායකත්වය දිය යුතුයි. ඝෝටාභය රාජපක්ෂ මැතිතුමා මේක ආරම්භ කරන්න කියලා වෙනම අමාත්‍යාංශයක් හැදුවේ ඇයි? වේවැල්, බට කර්මාන්තය, මැටි කර්මාන්තය ආශ්‍රිත සාම්ප්‍රදායික කර්මාන්ත සදහා වෙනම අමාත්‍යාංශයක් හැදුවහම කොච්චර හිනා වුනාද? අපේ ඒ ඇමතිතුමාට කීවා මැටි ඇමති කියලා. මේ මොන පිස්සුවක්ද ඇහුවා. දැන් ඒ අමාත්‍යාංශය හදපු එකේ ප්‍රතිඵල පේනවා නේද? 
 
ගැමි ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා සාම්ප්‍රදායිකව පැවති කර්මාන්තවලට නව මුහුණුවරක් දෙමින්, නව ශතවර්ෂයට ගැලපෙන  ලෙස එම කර්මාන්ත නවීකරණය කළ යුතු බවද ඇමතිවරයා පැවසීය. ඒ සදහා නව වෙළෙදපොල සොයා යා යුතුව ඇත. 
 
"රට හදනවා කියන්නෙ මේ වගේ ජාතිකවාදී පාරවල්වල යන එක. කහ නැවැත්තුවහම මොකද වුනේ? මේ මොන අපරාධයක් ද ඇහුවා. දැන් මොකද වෙලා තියෙන්නේ? කහ කෑල්ලක් රටට ගේන්නේ නෑ. රටට අවශ්‍යය කහ ටික දැන් අපි අපේ පිළිකන්නේ හදා ගන්නවා. මේකෙන් කොච්චර මුදලක් 
දැන් ඉතිරි වෙලා තියෙනවා ද? කී දෙනෙකුගේ ආර්ථික හැදිලා තියෙනවා ද?" අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 
 
ලෝක වෙළෙදපොලට කුරුදු සපයන රටක් ලෙස ශ්‍රී ලංකාවට විශාල වටිනාකමක් හිමිව ඇති බව පෙන්වා දුන් ඇමතිවරයා මෙතෙක් නොසළකා හැර තිබූ එම කර්මාන්තය කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමුකළ බවද පැවසීය. කජු අපනයනය ඉලක්ක කර ගනිමින් ඌරාපොල කජු ගම්මානයක් ලෙස දියුණු කිර්‍ර්මටද රජය ක්‍රියාකළේය. ලොව වැඩිම කජු අපනයනකරු ලෙස වියට්නාමය එම කර්මාන්තය ආශ්‍රිතව වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමන මුදලක් උපයන බවද ඇමතිවරයා කියා සිටියේය. මෙවැනි කර්මාන්ත ලෝක වෙළෙදපොලට හදුන්වාදීම සදහා නූතන තාක්ෂණයෙන් සමන්විත සුවිශේෂී අලෙවිසැලක් කඹුරුපිටිය මැතිවරණ කොට්ඨාශයේ ආරම්භ කිරීමට ද රජය සැළසුම් කර ඇති බවද ඇමතිවරයා කියා සිටියේය.
 
'මේක ජාතික වැඩ පිළිවෙලක්. කුමන ආණ්ඩුවක් බලයට පත් උනත් මේ වගේ වැඩ ස්වාධීනව ජනතාවට ගරු කරමින් ඉදිරියට කරගෙන යා යුතුයි. ඒක තමයි ලංකාවේ මෙතෙක් නොවුණු දේ සහ අප විසින් කළ යුතුම දේ", ජනමාධ්‍ය ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.