ඔබගේ දුවට පුතාට අසීමිත ශක්තියක් ඇති බව, ඔවුන් ධෛර්ය සම්පන්න දරුවන් බව සහ ඔවුනට ලෝකය වෙනස් කිරීමේ හැකියාවක් ඇති බව විශ්වාස කරන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටී. දරුවනට කළ නොහැක්කක් නොමැති ය යන්න සෑම මවක මෙන්ම පියෙකු ද විශ්වාස කළ යුතු බව ද ඇමතිවරයා පවසයි. ශ්‍රී ලංකා පදනම් ආයතනය සංවිධාන කළ ළමා කුසලතා ඇගයීමේ තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.
"මගේ කථාවේ පරිච්ජේද තුනයි. පළමු පරිච්ජේදය අම්මලා තාත්තලා වෙතින් කරන ඉල්ලීමක්. දෙවෙනි පරිච්ජේදය දියවන්නාව මැද ප්‍රතිපත්ති සම්පාදකයින් 225 දෙනාගෙන් කරනු ලබන ඉල්ලීමක්. තුන් වෙනි පරිච්ජේදය මගේ වෘත්තීය සගයන් සහ මාධ්‍ය ආයතනවලින් කරන ඉල්ලීමක්". දරුවන් සමත් අසමත් ලෙස බෙදන අධ්‍යාපන ක්‍රමය සහ විභාග ක්‍රමය වෙනුවට දරුවන්ගේ දක්ෂතාවයන් මතු කරගන්නා අධ්‍යාපන ක්‍රමයක් සහ විභාග ක්‍රමයක් සකස් කරගත යුතු බව ඇමතිවරයා පෙන්වා දෙයි.
"ලෝකයේ භයානක බෙදීමක් තියෙනවා, දරුවන් සමත් අසමත් ලෙස බෙදන. සෑම දරුවෙක්ම සමත්. නමුත් අපේ විභාග ක්‍රමය සහ අධ්‍යාපන ක්‍රමය නිර්මාණශීලී වෙලා නෑ දරුවා දක්ෂ මොකටද කියලා හොයා ගන්න. ගණිතය අසමත්නම්, ජීවිතය අසමත්. එහෙම තමයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගොඩ නැගිලා තියෙන්නේ. සාමාන්‍ය පෙළ විභාගයෙන් සියයට 50 ක් විතර ගණිතය අසමත් වෙනවා. එතකොට ඒ සියයට 50 ම ජීවිතය අසමත් ද? ගණිතය අසමත් දරුවා සංගීතයට දක්ෂ ඇති. එයා චිත්‍ර අදින්න දක්ෂ ඇති. එයා තාක්ෂණයට දක්ෂ ඇති. හැබැයි අපේ අධ්‍යාප්න ක්‍රමය, අපේ විභාග ක්‍රමය ඒක හොයා ගන්න දක්ෂ වෙලා නෑ. ඒ නිසා දරුවෝ සමත් අසමත් විදිහට බෙදන මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි".
“දරුවන් අපයෝජනය පිළිබඳව සමාජය තුළ විශාල සංවාදයක් පවතී. අයෝජනය යන වචනයට ලිංගිකව පමනක් නොව ශාරීරිකව සහ මානසිකව සිදුවන අපයෝජන ද ඇතුළත් ය. වාර්තාවන වැඩිම අපයෝජන සංඛ්‍යාව සිදුවනුයේ මානසිකව සහ ශාරීරිකව නිවස ඇතුළේ සිදුවන අපයෝජනයන් ය. ඒ නිසා විශ්වාස කිරීම තුළ දරුවාට ලැබෙන ශක්තිය අන් කිසිවකින් ලබා ගත නොහැක. මම උදාහරණ දෙකක් කියන්නම්. අද ශිෂ්‍යත්ව දවස. මම අධ්‍යාපන ඇමතිවරයා විදිහට මාස නවයක කාලයක් ඉසුරුපායේ අධ්‍යාපන ඇමතිවරයාගේ පුටුවේ හිටියා. ඒ මේ වසංගත තත්වය උදාවුණු හැටියේ. මට දිනය මතකයි 2020 වසරේ මාර්තු මාසේ 13 වෙනිදා පළමුවෙනි කොවිඩ් රෝගියා වාර්තා වුනා. කොළඹ ප්‍රධාන පාසැල් දෙකක් ඇතුලේ විශාල කලබගෑනියක් ඇතිවුනා. දැන් වගේම පදනමක් නැති ප්‍රචාර නිසා. එකක් මගේ පාසැල ආනන්ද ය. පැය 24 ක් බලන් ඉදලා ඊට පස්සෙන් දා ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් එක්ක කථා කරල මම තීරණය කළා තාවකාළිකව දිවයිනේ සියලුම පාසැල් වසා දමන්නට. එතකොට මේ වසංගත තත්වයට අදාළ එන්නත් පිළිබඳ කථිකාවතක් පැවතියේ නෑ. විශ්වීය මාරයෙක් විදියට කොවිඩ් හඳුනාගෙන තිබුණේ. මම හිතුවා වැඩිහිටි අපි මැරෙයි, කමක් නෑ, දරුවෝ ටික බේරා ගන්නවා කියලා පාසැල් ටික වැහුවා. වහල ටික දවසක් යනකොට තේරුණා ගෙවල් ඇතුළේ දූවල පුතාල විශාල පීඩනයකට ලක්වෙලා, අල්ලපු ගෙදරටවත් යන්න විදිහක් නැති බව. සෙල්ලම් කරන්න විදිහක් නෑ. දරුවෝ ප්‍රාණ ඇපකරුවෝ පිරිසක් බවට පත්වෙලා. මම කල්පනා කළා සිංහල දමිල සංස්කෘතිත මංගල්‍ය පැවැත්වෙන අප්‍රේල් මාසේ 13 රාත්‍රී 10යි 58 ට නොනගතය ලබන වෙලාවේ මම ඉල්ලීමක් කළා, “දුවේ පුතේ අපි පොතක් ලියන්න පටන් ගනිමු” කියලා. මම ඒක නම් කළා “රටක් වටින පොතක්” කියලා. මාස තුනක් ගතවෙනකොට දරුවෝ 43,000 ක් පොත් ලියල අවසන් කළා. ඉස්කෝලේ ඇතුලේ ඉන්න අපේ මුළු දරු සංඛ්‍යාව ලක්ෂ 43 ක්. පොත් 43 දාහක් ලියලා අවසන් කරන්න අඩුම ගානේ දරුවෝ ලක්ෂ 4 ක් වත් පොත් ලියන්න පටන් ගන්න ඇති. සමාජයේ දරුවෝ ගැන තිබුණු මතය මොකක් ද? අපේ දරුවෝ කියවන්නේ නෑ.ටීවී එක දිහා බලන් ඉන්නවා විතරයි කියලා. එහෙම ජනප්‍රිය මතයක් තිබුණා. අපේ දූලා පුතාලා ඒක මිථ්‍යාවක් බව ඔප්පු කළා. මොකද රාජ්‍යය තමන්ව විශ්වාස කරන බව දරුවෝ තේරුම් ගත්ත නිසා.
දෙවැනි උදාහරණය, අද තියෙන ශිෂ්‍යත්ව විභාගය ගැන. දැන් මේ විභාගය තියන්නේ මාස පහක් ගතවෙලා. එදා මැතිවරණය අස්සේ මට බොහොම වෙහෙසකාරී දිනයක්. රෑ ගෙදර ඇවිත් මගේ මෙසේජස් බලන කොට රෑ 11.30යි. දඹුල්ලේ ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයේ 5 වසරේ නෙළුම් පංතියේ දරුවෙක් මට මෙසේජ් එකක් එවලා තිබුණා. “ඩලස් මාමේ ඔයා බලන්නේ ඕලෙවල්, ඒලෙවල් පංතිවල අයියලා අක්කලා ගැන විතර ද? අපිත් ශිෂ්‍යත්වය නැතිව හරි අමාරුවෙන් ඉන්නේ. අනේ කරුණාකරලා අපි දිහාත් බලන්න. එතකොට විභාග කොමසාරිස් හිටියේ සනත් පූජිත මහත්මයි. මම රාත්‍රී 12.15 ට ඔහුව නැගිට්ටෙව්වා මේ ගැන සාකච්ඡා කරන්න. එහි ප්‍රතිඵලයක් හැටියට පහුවදා දහවල් 11ට අපි රැස්වුනා. ඒ අනුව පළමු ප්‍රශ්ණ පත්‍රය විනාඩි 45 පැය වුනා. දෙවෙනි ප්‍රශ්ණ පත්‍රය වරණ හතර වරණ තුන වුනා. මොකක් ද ලැබුණු ප්‍රතිඵලය? ඉතිහාසයේ පළවෙනි වතාවට ගිය අවුරුද්දේ ලකුණු දෙසීයෙන් දෙසීයම ගත්ත දූලා පුතාලා 11 දෙනෙක් බිහිවුනා. මේ මම අධ්‍යාපන ඇමතිවරයා විදිහට මේ රටේ දරුවෝ විශ්වාස කරපු අවස්ථා දෙකක ගත්තු ප්‍රතිඵලය.
ලොව බොහෝ රටවල් ආදර්ශයට ගන්නා ෆින්ලන්තය පමණක් නොව, එස්ටෝනියාව වැනි රටවල් පවා මතක ශක්තියෙන් විභාගවලට උත්තර ලිවීම ආරම්භ කරනුයේ හත අට වැනි ශ්‍රේණිවලදී බවද ඇමතිවරයා පැවසීය.
"මගේ දෙවැනි පරිච්ජේදය මා ද ඇතුළු ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් කරනු ලබන ඉල්ලීමක්. 13 අසුබයි කියලා බහිර සමාජයේ විශ්වාසයක් තියෙනවා. මේකට විද්‍යාත්මක පදනමක් නොතිබෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලාංකීය සමාජය තුළත් 225 අසුබ අංකයක් විදිහට හදුන්වනවා. මේ මතය වෙනස් කළ හැක්කේ අධ්‍යාපනය තුළින් පමණයි. ලෝකයේ දිළිදුකම, අන්තවාදය, ත්‍රස්තවාදය මේ සියල්ල පැණ නගින්නේ අධ්‍යාපනයක් නොමැතිකම හේතුවෙන්. ඒ නිසා පක්ෂ, විපක්ෂ විදිහට ගෝත්‍රිකව බෙදෙන් නැතුව 21 වන සියවසට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් අපේ මතය පෙළ ගස්වන්නට ඕනේ. ඒ සදහා ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට අපි අපේ සහෝදර භාෂාවන් ඉගෙන ගත යුතුයි. ඒ වගේම ජාත්‍යන්තර භාෂාවක් විදිහට ඉංග්‍රීසි භාෂාව දරුවන්ට ඉගැන්විය යුතුයි."
සිය කතාවේ තෙවැනි පරිච්ජේදය පැහැදිළි කළ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහත කියා සිටියේ දරුවන්, ආබාධ සහිත පුරවැසියන් සහ කාන්තාවන් පිළිබද වාර්තාකරණයේදී මධ්‍යකරුවා මෙන්ම මාධ්‍ය ආයතන සංවේදී විය යුතු බව කියා සිටියේය.
"දරුවෝ ජලය වගේ. මොකක්ද ජලයේ හැඩය? වක් කරන භාජනයේ හැඩය තමයි ජලයේ හැඩය. ඒ නිසා දරුවෙක් අපයෝජනය වන්නේ ගෘහස්ථ හිංසනය ඇතුළේ විතරක් නෙවෙයි. පත්තර පිටු ඇතුළේ, කැමරා කාච ඇතුළේ දරුවෙක් අපයෝජනය වන්නට පිළිවන්. ඒ නිසා ජනමාධ්‍ය ඇමතිවරයා විදිහට නෙවෙයි, වෘත්තීය සගයෙක් විදිහට මම ඉල්ලන්නේ වාර්තාකරණයේදී සංවේදී වන්න."