රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ පසුගියදා කොළඹ වරායේ බටහිර බහලූ පර්යන්තය සඳහා ගිවිසුම් ගත වීම සිදු කෙරිණි. ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2020-2050 ජාතික වරාය සැලැස්ම ඔස්සේ ඉදිරි වසර 30 ක සාරථකත්වයේ ගමන් මඟ සැලසුම් කර තිබේ. ඒ අනුව කොළඹ වරායේ දැනට පවතින බහලූ හැසිරවීමේ ධාරිතාව අඩි 20 සම ඒකක බහලු මිලියන 35 දක්වා ඉහළ නැංවීමට ද සැලසුම් කර තිබේ.

පෙරදිග සේද මාවත ඔස්සේ ජාත්‍යන්තර වෙළඳ ගනු දෙනු කටයුතුවල නිරත වූ වෙළඳුන්ගේ ප්‍රධාන නැවතුම්පොළ වූයේ ශ්‍රී ලංකාවයි. එය මෑතක පටන් සිදු වූවක් නොවේ. ඉතා දිගු ඉතිහාසයක් ඊට ඇත.පූර්ව බුද්ධ යුගයේ පටන් පෙරදිග නැවියන් අතර චිර ප්‍රසිද්ධ වූයේ තම්බපණ්ණි යන නමිනි. ටොලමිගේ ප්‍රථම ලෝක සිතියමේ ද මේ නාවික නැවතුම්පොළ ගැන සඳහන් වේ. ඒ අනුව බලන විට වසර දස දහස් ගණනක් පුරා නාවිකයන්ගේ පහස ලද ක්ෂේම භූමියක් ද වෙයි.

අලි ඇතුන්, ඇත් දළ, අශ්වයන් පමණක් නොව යටත් විජිත යුගයන්හි මෙරටේ තිබූ සියලු වාණිජ දේවල් පමණක් නොව සේවාවන් ද සිදු වූ චිර ප්‍රසිද්ධ නැව් තොටවල් මෙහි විය. එසේම ඈත අතීතයේ නැව් පවා නිපද වූ බවට ද සාක්ෂි ඇත.

1905 දී මෙරටට පැමිණි පෘතුග්‍රීසි, 1640 පැමිණි ලන්දේසී, 1796 දී පැමිණි ඉංග්‍රීසීන් ද මෙරට ආක්‍රමණය කොට එතෙක් පැවති සාම්ප්‍රදායික වෙළඳ නාවුක යුගය ක්‍රමානුකූලව වෙනස් කරමින් යුරෝපයේ කාර්මික විප්ලවයට සමගාමීව වෙනස් විය. ඊට නව සොයා ගැනීම් ඇතුළත් විය.

" සුදු හම ඇති මිනිසුන් සමූහයක් අපගේ වරායට පැමිණ සිටි. ඔවුහු යකඩ ඇඳුම් ඇඟලා යකඩ තොප්පි පැලඳ මොහොතක් වත් එක තැනක නොසිට එහා මෙහා ඇවිදිති. තිරුවාන ගල් ( පාන්) කන මොවුන් පානය කරන්නේ ලේ (වයින්) ය. මාළු කූරියකුට හෝ දෙහි ගෙඩියකට මොවුහු රන් කාසි කිහිපයක් දෙති. මොවුන්ගේ කාලතුවක්කුවකින් නිකුත් වන ශබ්දය යුගන්ධර පර්වතය මත පතිත වන හෙණ සැරයනට වඩා බිහිසුණු ය. ගව් ගණන් ගමන් කරන මෙම වෙඩි උණ්ඩ කළු ගලෙන් තැනූ මහා ප්‍රාකාරයන් වුවද සුනු විසුනු කර දමන්නේය."

මේ හෙළ රජ දවස අපේ වරායට සේන්දු වූ විදේශිකයන් පිළිබඳ එකල විසූවෝ රජුට සැල කළ අයුරුය. පෙර රජ දවස පවා මෙරට හා විදෙස් රාජ්‍යයන් අතර සහසම්බන්ධය ඇති වූ වරායක් බවට මෙය කදිමට සාක්ෂි සපයයි. ඉතිහාසඥයකු වූ ඇස්. ජී පෙරේරා පියතුමා සඳහන් කරන ආකාරයට " කොළඹට බස්නාහිරින් කුඩා කඳු පන්තියක් විය. මේ කඳු මුදුන් හැඳින්වූයේ ආදුරුප්පු, අලුත්කඩේ හා සෙන්සෙබැස්තියන් යන නම් වලිනි. කඳු දෙපැත්තේම පහත් බිම් තීරුය. කැලණි ගඟට හා මෙම කඳු මුදුන්වලට මැදි වූ ප්‍රදේශයෙන් වගුරු බිම් තිබිණි. වගුරු බිම් මැදින් ගලා ගිය ගඟ කොළඹ වරාය හරි මැදින් බෙදමින් මෝයට වැටිණි. මේ කුඩා ගංගාව කැලණි ගඟින් පිටාර යන ගංවතුර වරායට ගෙන ගියේය."

වාණිජ මෙහෙයුම්

රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සඟරාවකට ලිපියක් සපයන ජූලියස් ද ලැනරෝල් විසින් කොළඹ යන සිංහල වචනයේ තේරුම "වරාය" නොහොත් තොටුපොළ යනුවෙන් විග්‍රහ කර ඇත. මේ අනුව සලකා බැලීමේදී කොළඹ හා තොට යන්න සමාන බව පෙනේ. එසේම කාලයාගේ ඇවෑමෙන් කොළඹ ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු දිග් භාගයේ ඇති ප්‍රධානතම වරාය බවට පත් විය.

"විශාල නැව් නවතා තැබීමට ආරක්ෂා සහිතව බඩු පැටවීම, ඉක්මනට කරවීමට අවශ්‍ය හැම උපකරණයක්ම සහිත වරායක් සෑදීම දිවයිනේ සංවර්ධනය උදෙසා වන බව මගේ හේතු සහගත අදහසයි. එසේම, කොළඹ සුවිසල් වාණිජ නගරයක් වනු දැකීමට මෙහි පැමිණ ඇති වැඩි දෙනෙකුට ඉඩ ලැබෙන බව මාගේ විශ්වාසයයි'' මේ 1877 මැයි 17 දා ව්‍යවස්ථාදායක සභාවේ සැසිවාර දේශනය පවත්වමින් සර් විලියම් ගැග්‍රරි විසින් පැවසූවකි.

මේ කාල වකවානුව වන විට කොළඹ තිබූ බළකොටු ආදිය කඩා බිද දමා කොළඹ ප්‍රදේශයේ නව වෙළෙඳ නගරයක් ඉදි වෙමින් පැවැතිණි. විදේශීය වෙළෙඳ සමාගම් බොහොමයක්ම මේ වන විටත් කොළඹ අවට ස්ථාපිත විය. මෙරටින් පිට රටට යැවෙන භාණ්ඩ හා නොයෙක් ද්‍රව්‍ය ප්‍රමාණය ද වැඩිවෙමින් පැවැතිණි. එබැවින් වරායක අවශ්‍යතාවය ද එන්න එන්නම වැඩි විය. ඒ අනුව මූලික සැලසුම් තනා පවුම් 7,05,000ක් වියදම් දරා මුළු දිග අඩි 4,212 ක් වූ අතර අඩි 1,350 ක් අඩි 50 ක් පළලකින් ද ඉතිරි අඩි 2862 අඩි 40 පළලකින් ද යුක්ත විය. ටොන් 21 ක් බරැති කොන්ක්‍රීට් කුට්ටි, කළුගල් ඇතිරූ ගල් ගොඩක් මත තැන්පත් කරන ලදි. මේ අයුරින් 1885 දී දියකඩනය සාදා නිමවීමෙන් කලින් පැවති විවෘත මූදු බොක්ක, නිරිත දෙසින් මනාසේ ආවරණය වූ වරායක් බවට පෙරළිණි.

ඉන් කලකට පසු ශ්‍රී ලංකාවේ වරාය පද්ධතියේ වාණිජ මෙහෙයුම් වඩාත් විධිමත් කිරීම සහ ලාභදායි ව්‍යාපාරයක් කිරීමේ අරමුණින් 1882 දී වරාය මණ්ඩලයත්, 1913 දී වරාය කොමිෂන් සභාවත්, 1958 දී වරාය සංයුක්ත මණ්ඩලයත් 1967 දී වරාය සැසඳුම් හා ආරක්ෂක සංස්ථාවත් ස්ථාපිත කරන ලදි. 1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබීමත් සමඟ ක්‍රමයෙන් මෙරටේ සමාජ, ආර්ථික හා දේශපාලන අංශයන්ගේ නවමු පෙරළියක් සිදු විය.

1958 දී වරාය ජනසතු කරන ලදි. 1979 අගෝස්තු 01 දා ශ්‍රී ලංකා වරාය අදිකාරිය පිහිටුවන ලදී. එය ශ්‍රී ලංකාවේ වරිය පද්ධතියේ ආනයන, අපනයන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි ලෙස ඉහළ දැමීමේ පියවරක් විය. එපමණක් ද නොවේ, භෞතික සම්පත් සංවර්ධනයේ පුරෝගාමී අඩිතාලමක් ද විය. ඒ අනුව 1985 දී ජය බහලූ පර්යන්තයේ පළමු අදියර ද 1987 දී දෙවැනි අදියර ද 1995 දී තෙවැනි අදියර ද 1996 දී සිවි වැනි අදියර ද වශයෙන් ඉදිකිරීම් නිමා කොට මෙහෙයුම් ක්‍රියාවලියට එක් විය.

මූල්‍ය නගරය

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය ශ්‍රී ලංකාවේ කොළඹ ගාලු මුවදොර පිටියට ආසන්න මුහුදේ හෙක්ටයාර 269 පමණ භූමි භාගයක ඉදි කළ නව වරාය නගරයක් ලෙස ඉදිකළ ප්‍රථම නගරය ලෙස ඉතිහාසයට එක්ව ඇත.

පෝට්සිටි කලම්බෝ CHEC සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා සිදුකර ඇති ආයෝජනය අමෙරිකානු ඩොලර් බිලියන 1.5කි. වරාය නගරය සතු හෙක්ටයාර 269ක භූමි ප්‍රමාණයෙන් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා යෝග්‍ය ඉඩම් ප්‍රමාණය වන්නේ හෙක්ටයාර 178කි. ගිවිසුමට අනුව මෙම ප්‍රමාණයෙන් හෙක්ටයාර 116ක ප්‍රමාණයක් අනූනව අවුරුදු බදු පදනමට චීන සමාගමට හිමිවන අතර ශ්‍රී ලංකා රජයට හිමිවන්නේ හෙක්ටයාර 62ක භූමි ප්‍රදේශයකි.

කොළඹ සුන්දරත්වයේ කේන්ද්‍රස්ථානයක් වන ගාලු මුවදොර එළිපත්තේ පිහිටි වරාය නගරය ඉදිකිරීම සඳහා සකසා ඇති දියකඩනයෙහි දිග කිලෝමීටර් 3.2කි. වරාය නගරය සඳහා කළු ගල් භාවිත කර ඇත්තේ මෙම දියකඩනය සඳහා පමණක් වන අතර මීට අමතරව කොන්ක්‍රීට් කුට්ටි ද භාවිතකර තිබේ. ‍‍මුහුද ගොඩකර හෙක්ටයාර 269ක භූමිය ගොඩනැගීම සඳහා වැලි කියුබි මීටර මිලියන 65ක් යොදා ගෙන තිබේ.

 

2014 සැප්තැම්බර් මස 17 දා මීට මුල් ගල් තැබිණි. යහපාලන රජය පත් වීමෙන් අනතුරුව කාලයක් යන තුරු එහි ඉදිකිරීම් කටයුතු අත්හිටුවා තිබිණි. පසුව නැවත එය 2016 වසරේදී ආරම්භ විය.

එහි භූමිය සකස් කිරීමේ වැඩ කටයුතු 2019 වසරෙහි මුල් භාගය වන විට අවසන් කෙරිණි. 2019 වසරේ අගෝස්තු 19 නිකුත් කෙරුණු විශේෂ ගැසට් පත්‍රයක් මඟින් කොළඹ වරාය නගරයට අයත් හෙක්ටයාර 269 ක භූමියේ අයිතිය කොළඹ දිස්ත්‍රික්කයට පැවරිණි. මෙම ව්‍යාපෘති භූමියේ පූර්ණ අයිතිය ශ්‍රී ලංකා රජය සතු වේ.

ශ්‍රී ලංකාවේ වාණිජ හා සේවා අංශය මුල් කරගෙන පිහිටුවන පළමුවන විශේෂ ආර්ථික කලාපය වන්නේ මේ කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපයයි. මෙය ලොව පුරා ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන ආර්ථික සංකල්පයකි. ආයෝජකයින් දිරිගැන්වීම වෙනුවෙන් සුවිශේෂී බදු සහන දීම වැනි ක්‍රමවේද හරහා විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගනිමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට විදෙස් විනිමය රටට ලබා ගැනීමට හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි. මෙහි ‘වරාය නගර ආර්ථික කොමිෂන් සභාව’ පිහිටුවා තිබේ. එමඟින් වරාය නගරය තුළ ව්‍යාපාර හා සේවා සැපයීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ සිට සියලුම ක්‍රියාකාරකම් පරිපාලනය, කළමනාකරණය හා නියාමනය සිදු කරීම ආදිය සිදු කෙරේ. එම කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කරන්නේ ජනාධිපතිවරයා විසිනි. කොළඹ වරාය නගරය වෙත පැමිණෙන දේශීය හා විදේශීය ආයෝජකයින්ට ආයෝජන කටයුතුවලදී අවශ්‍ය පහසුකම් සැලසීම මෙම කොමිෂන් සභාවේ මූලිකම අරමුණකි.

තිරසර නගර සංකල්පය

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, මූල්‍ය කලාපය, මධ්‍යම උද්‍යාන වාසය, ජාත්‍යන්තර දිවයින, යත්‍රාංගණය හා දුපත් වාසය ලෙස අනුකලාප පහකින් නිර්මිතය. මෙහි ඉදිකිරීම් අවසන් වූ විට කොළඹ වරාය නගරය විශාල භෞතික අවකාශයක නිර්මාණය වුණු ලොව උසස්ම මට්ටමේ ශ්‍රේණිගත කාර්යාල සංකීර්ණ, අති නවීන සෞඛ්‍ය සේවා, ප්‍රමිතිගත අධ්‍යාපන සේවා පහසුකම්, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලූ යාත්‍රාංගණ, සුපිරි සාප්පු සංකීර්ණ, හෝටල් සහ විනෝදාස්වාදය සැපයීම සඳහා වෙන්වුණු විශේෂිත පහසුකම්වලින් ද සමන්විත වනු ඇත. නූතන තිරසර නගර සංකල්පය සහ සුහුරු නගර සංකල්පය අනුව ද ඉදි කෙරේ.

"නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් නොපමාව ආරම්භ කර, එහි ඉතිරි කොටස නොපමාව ඉදිකරනු ඇත." යන්න සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ය. එය දැන් ඒ අයුරින්ම ක්‍රියාවට නංවා ඇත. පසුගියදා මෙහි දෙවැනි අදියරේ ඉඳිකිරීම් කටයුතු ආරම්භ විය. ඒ අනුව ඉඳිකිරීම් ක්‍රියාවලිය මෙසේ වෙයි.

*ජැටි බැම්මේ මුල් මීටර් 600 සහ Quary apron ප්‍රදේශය සහ නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදු කරන දොඹකර ( sts) 06 ක් සවි කිරීම හා රේල් පීලි මත දිවෙන ගැන්ට්‍රි දොඹකර (RMG) 20 ක් හැසිරවීම සඳහා බහාලූ අංගණය නිම කිරීම හා එම දොඹකර සවි කිරීම. මෙය අවසන් වීමට නියමිත දිනය වන්නේ 2023- 07 -04 දාය. අපේක්ෂිත කාලය වන්නේ මාස 18 කි.

*ජැටි බැම්මේ දිග මීටර් 900 දක්වා නිම කිරීම සහ නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදු කරන (STS) 03 ක් සවි කිරීම හා රේල් පීලි මත දිවෙන ගැන්ට්‍රි දොඹකර (RMG) 40 ක් මෙහෙයවීම සඳහා බහලු අංගනය නිම කිරීම හා RMG 20 ක් සවි කිරීම. මෙය අවසන් වීමට නියමිත දිනය වන්නේ 2024- 01 -04 දාය. අපේක්ෂිත කාලය වන්නේ මාස 24 කි.

*මීටර් 1320 ක් වන ජැටි බැම්ම සහ Quary apron ප්‍රදේශය නිම කිරීම සහ නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදු කරන (STS) 03 ක් සවි කිරීම. මෙය අවසන් වීමට නියමිත දිනය වන්නේ 2024- 07 -04 දාය. අපේක්ෂිත කාලය වන්නේ මාස 30 කි.

දෙවැනි අදියරේ ඉදිකිරීම්

රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ පසුගියදා කොළඹ වරායේ බටහිර බහලූ පර්යන්තය සඳහා ගිවිසුම් ගත වීම සිදු කෙරිණි. ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2020-2050 ජාතික වරාය සැලැස්ම ඔස්සේ ඉදිරි වසර 30 ක සාර්ථකත්වයේ ගමන් මඟ සැලසුම් කර තිබේ. ඒ අනුව කොළඹ වරායේ දැනට පවතින බහලූ හැසිරවීමේ ධාරිතාව අඩි 20 සම ඒකක බහලු මිලියන 35 දක්වා ඉහළ නැංවීමට ද සැලසුම් කර තිබේ.

තවද කොළඹ වරාය උතුරු දියකඩනය ස්ථාපිත කිරීමත් සමඟ කොළඹ උතුරු වරාය ලෙස නව වරායක් නිර්මාණය වනු ඇත.

මේ වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නාවික කේන්ද්‍රය ලෙස අභිසෙස් ලබා ඇත. කෙසේ වෙතත් මේ නවමු ඉදිකිරිම් නිම වූ දා ලෝකයේම අවධානය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත. ඇතමුන් මේ දෙස කුමන කෝණයකින් බැලුවද ඉදිකිරීම් නිම වූ දිනයක මෙය සාදරයෙන් වැලඳ ගත යුත්තක් බව අවබෝධ කර ගනු ඇත. මෙහි පිහිටි උද්‍යාන තුළ ඇවිද යන්නටත්, සුපිරි සාප්පු සංකීර්ණවලින් භාණ්ඩ මිලදී ගැනීමටත්, සිනමා ශාලා සහ සමාජ ශාලා තුළ විනෝද වීමටත් ශ්‍රී ලාංකික අපට ද මතුදා ඉඩ ලැබෙනු ඇත. ඒ අනුව කොළඹ වරාය නගරය දකුණු ආසියාවේම සෞභාග්‍යයේ කේන්ද්‍රීය මධ්‍යස්ථානය ද වනු ඇත. එයම මතු දිනෙක ශ්‍රී ලංකාව අභියෝග මැදින් ඉහළට ඔසවා තබනු ඇත.