මිථ්‍යා මත වලින් බැහැරව කොවිඩ් 19 එරෙහි තෙවන එන්නත ලබාගෙන වගකීම් සහගත පුරවැසියෙකු ලෙස සමාජ යුතුකම් ඉටු කිරීම වෙනුවෙන් බුද්ධියෙන් මෙන්ම හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්නට පෙළ ගැසෙන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි .
ජනවාරි 29වෙනිදා කොවිඩ් 19 වසංගතයට අභියෝග කළ මනුෂ්‍යත්වයට උපහාරයක් මැයින් දිවයින පුර ක්‍රියාත්මක කෙරෙන ජාතික වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය
කොවිඩ් තෙවන මාත්‍රාව ලබා ගැනීමේ ඇති වැදගත්කම ද අමාත්‍යවරයා විසින් මෙහිදී පැහැදිලි කළේය ..
උත්සවය අමතමින් වැඩි දුරටත් අදහස් දැක් වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා ...........
" අද අපි ජාතික මට්ටමින් මේ රටේ වසංගතයට එරෙහි එන්නත්කරණයේ වර්ෂ පූර්ණය සිහිපත් කරන අවස්ථාව . මේ වේදිකාවේ රූප රාමු වලින් වගේම හඬ වලින් අපි මේ වසරක විශිෂ්ට කැපවීම විවිධ මානයන් ගෙන් අත්වින්දා . මං කැමතියි ඉතාම කෙටි කාලයක් තුළ වුනත් මේ සම්බන්ධයෙන් අදියර තුනකින් ඔබත් එක්ක කතා කරන්න . අපි දෙදාස් විසි එකේ ජනවාරි 29වෙනිදා අපේ අයි ඩී එච් ප්‍රධාන රෝහලේ වෛද්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට ලංකාවේ පළවෙනි එන්නත ලබාදීමෙන් මේ එන්නත්කරණය ආරම්භ වුණේ . ඊකට තමයි අපි අද අවුරුද්දක් කියලා කියන්නේ . ඒ වුනත් මම කැමතියි මේක අදියර තුනකට වෙන් කර ගන්න . චීන ජාතික කාන්තාවක් පළවෙනි රෝගියා විදිහට මුණගැහුණේ , නමුත් ශ්‍රී ලාංකිකයෙක් මේ භුමිය තුළදී මුණ ගැහීමේ ඉඳන් දෙදාස් විසි එකේ ජනවාරි 29වෙනිදා දක්වා වූ පරිච්ඡේදය අපි අමතක කළයුතු එකක් නෙමෙයි ඒ තමයි පළවෙනි පරිච්ඡේදය , දෙවෙනි පරිච්ඡේදය තමයි දෙදාස් විසි එකේ ජනවාරි 29 සිට විසිදෙකේ ජනවාරි 29 දක්වා වූ අපි අද කතා කරන පරිච්ඡේදය . තුන්වෙනි පරිච්ඡේදය අද සිට නිශ්චිත දිනයක් නොපෙනෙන අනාගතය දක්වා වූ පරිච්ඡේදය . අද දවසේ මේ පරිච්ඡේද තුනම සිහිපත් කළ යුතුයි ....
ඔබට මතක ඇති දෙදාස් විස්සේ මාර්තු මාසේ දොලොස්වෙනිදා පළමු ශ්‍රී ලාංකීය රෝගොයා අපේ භූමියෙන් හමුවුණා , මේ තත්වයත් එක්ක අපි විශ්වීය මාරයෙක් විදිහට අඳුර ගත්තු මේ වසංගතය සම්බන්ධයෙන් විශාල බියක් සමාජ ගත වුණා . මං එතකොට අධ්‍යාපන ඇමතිවරයා, මේ පළවෙනි රෝගියාගේ දරුවා කොළඹ ප්‍රධාන පෙලේ විද්‍යාලයක ශිෂ්‍යයෙක් , 13වෙනිදා විශාල කැළඹීමක් ඇති වුණා ඒ පාසල ඇතුලේ , දෙමව්පියන් ඇවිල්ල පොර කෑවා දරුවෝ ගෙනියන්න , ඒ පුතා කොවිඩ් රෝගියෙක් කියලා , අද වගේම මිථ්‍යා මතයක් සමාජ ගතවීම නිසා , විශාල කැරැල්ලක් පටන් ගත්තා , උදේ පාන්දර ජනාධිපතිතුමත් අගමැතිතුමාත් එක්ක කතා කරලා 13වෙනිදා හවස දෙකට තීරණය කළා පාසල් වහන්න ඕනේ කියලා ,
ඒ වෙලාවේ එන්නත්කරණයක් ගෙන සාකච්ඡාවක් තිබ්බේ නැහැ , ලෝකේ එන්නතක් හොයාගෙන තිබ්බෙත් නැහැ , මෙවැනි වසංගතයකට පූර්ණ සූදානමක් ලෝකේ කොහෙවත් තිබ්බෙත් නැහැ , අනාරක්ෂිත බවේ හැඟීම විතරමයි ලෝකේ පුරාම තිබ්බේ , අපි එදා තීරණය කළා අපිට මේ මරණයෙන් බේරෙන්න බෑ අඩු තරමින් දරුවෝ ටික බේරගන්න ඕනේ කියල හිතල ඉස්කෝල ටික වැහුවා , එදා අපිට පෙනුනේ එච්චරයි දුර , නොපෙනෙන අන්දකාරයක් තිබුණේ අපේ ඉදිරියේ , හැබැයි අපේ ජනාධිපතිතුමා අපේ සෞඛ්‍ය සේවය යුද හමුදාව ප්රමුඛ ආරක්ෂක අංශ, රාජ්‍ය සේවය ඉතා විශිෂ්ට කැපකිරීමක් කළා ,
එන්නත අරගෙන , හොයාගෙන එන්නත දෙනකම් වුණු කාල පරිච්ඡේදය රට වහල ඇඳිරිනීති දාල ප්‍රවාහනය සීමා කරලා විශාල අර්බුදකාරී තත්වයක වුනත් රටක් විදිහට අපි ඉදිරි පියවරක් තිබ්බා ....
මට මතකයි එක පැත්තකින් මැතිවරණ නාම යෝජනා කැඳවල, නාම යෝජනා භාර ගත්තේ මාර්තු 17වෙනිදා මට මතක විදිහට රට අර්ධ වශයෙන් වහපු තත්වයක් ඇතුලේ , හැබැයි අපි අපේ සියළු භාවිතාවන් වල ප්‍රමුඛත්වය දුන්නා , මාතර දිස්ත්‍රික්කය විදිහට අපි සතුටු වෙන්නට ඕනේ , ඔබට ගෞරවයක් විදිහට මං කියන්නේ අපි බොහෝ පූර්වාදර්ශයන් ගත්තේ මාතරින් , ජාතික තලයට අපි ආදේශ කර ගත්තේ මාතර , මේ ශාලාවේ අපි එකතුවෙලා සාකච්ඡා කරලා ,ඒ නිසා ඒකට සහභාගී වුණු හිටපු දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු හැමෝටම මම කෘතවේදීව සිහිපත් කරනවා ඒ කරනු ලැබූ අවිනිශ්චිත පසු බිමක කරනු ලැබූ කැපවීම වෙනුවෙන් ....
ඊට පස්සේ අපි ජනවාරි 29වෙනිදා පළවෙනි එන්නත ලබා ගන්නවා , එන්නත්කරණය පිළිබඳව විවිධ මත රටේ ගියා , එතකන් මතයක් තිබුණා ඇයි මේ එන්නත් දෙන්නේ නැත්තේ කියලා , එන්නත් නිෂ්පාදනය කරන රාජ්‍යයන් වලත් එන්න නැහැ , අපේ රටේ විශාල උද්ඝෝෂණයක් මතු වුණා , සමහර දේශපාලඥයෝ ඇවිල්ලා එක එක නම් කිව්වා , ප්ලැකනිල් තමයි හොදම එක දෙන්න බැරි කියල කිව්වා , ඊට පස්සේ අපිට ආසන්න වශයෙන් ඇස්ට්‍රා සෙනිකා ජනවාරි 29වෙනිදා ආවා , චීන එන්නත සිනෆාම් දෙන්න පටන් ගත්තා , ඊට පස්සේ චීන එන්නතේ ගුණාත්මකභාවය පිළිබඳව ප්‍රශ්න කරන්න පටන් ගත්තා , ගුණාත්මකභාවයෙන් පිරිහිච්ච එන්නත් කිව්වා මේකට , උද්ඝෝෂණය කළා ෆයිසර් ඉල්ලලා , ඔබට මතක ඇති , හමුදා මූලස්ථානය ඉදිරිපිටත් උද්ඝෝෂණයක් ගියා ශිෂ්‍ය ව්‍යාපාරයකින් ඇවිල්ලා ෆයිසර් ඉල්ලලා , වැඩවසම් යුගයේ ඉතාම ප්‍රාථමික ගෝත්‍රික ලක්ෂණ තිබ්බ කුල ගෝත්‍ර විදිහට ඒ එන්නත් වලත් කුල ගෝත්‍ර හැදුවා උසස් කුලයේ එන්නත් පහත කුලයේ එන්නත් කියලා , මේ චීන එන්නත පහත් කුලයේ කිව්වා , උසස් කුලයේ එන්නත ෆයිසර් , ඇයි ෆයිසර් දෙන්නේ නැත්තේ ඇහුවා , එකට උද්ඝෝෂණය කළා , මිථ්‍යා මත නොයෙක් දේවල් ගලාගෙන ගියා , පැණි ගැන කතා කළා , රූපවාහිනී නාලිකා පිරිලා තිබුණේ පැණියෙන් , මිථ්‍යාව රජ වුණා , හැබැයි අපි සියළුදෙනාම සතුටු වෙන්නට ඕනේ ලෝකේ මේ සෑම එන්නතක්ම සොයාගත්තු නිෂ්පාදනය කරන රටවල් වලට නොදෙවෙනිව එන්නත්කරණය අපි සාර්ථක ඉතිහාසයක් සටහන් කළා මේ අවුරුද්දේ ඇතුලේ ...
ඒ සාර්ථකත්වයේ ප්‍රධාන කුළුණු හතරක් මට පේනවා , පළවෙනි කුළුන අතිගරු ජනාධිපතිතුමා , එන්නත්කරණයේ එතුමා දීපු නායකත්වය මම හිතන්නේ කිසිවෙකුට අමතක කරන්නට බැහැ , කළයුතු නැහැ , අපේ ආණ්ඩුව සම්බන්ධයෙන් නොයෙක් විවේචන තියෙනවා , පොහොර කියන මාතෘකාවෙදි දැඩි විවේචනයක් තියෙනවා අපි දන්නවා අපි තේරුම් ගන්නවා , ඒ වගේම නොයෙක් අභියෝග තිබුණා , විවේචන තිබුණා , මේක ප්රජාතන්ත්රවාදී සමාජයක් , විවේචන කරන්න අයිතිය තියෙනවා ,නිදහස තියෙනවා , හැබැයි මොන විවේචන තිබුනත් එන්නත්කරණය සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ කැපවීම මං හිතනවා කිසි තැනක විවේචනය නොකළ යුතු දෙයක් .....
අපි කියනවා සක්සස් ස්ටෝරි එකක් සාර්ථකත්වයේ කතාවක් අපේ ඉතිහාසයේ මේ අවුරුද්දේ එන්නත්කරණය , ඒක අපේ ඉතිහාසයේ සාර්ථක කතාවක් විදිහට තැන්පත් වෙලා තියෙනවා , ඒකයි කුළුණු හතරක් තියෙනවා කිව්වේ , ජනාධිපතිතුමා කියන්නේ එක කුළුණක් , සෞඛ්‍ය සේවයේ ව්‍යුහය ඇති විශිෂ්ටයි , වෛද්‍යවරයාගේ සිට සනීපාරක්ෂක කම්කරුවා දක්වා වූ කැපවීම නොවෙන්නට අපිට අත්වෙන්නට තිබුණ ඉරණම ලෝකේ දියුණු රාජ්‍යන් පවා රෝහල් වෙන් කලේ අසාධ්‍ය රෝගීන්ට විතරයි , හැබැයි අපි එහෙම නෙමෙයි , ඒ දෙවැනි කුළුණ ,තුන්වෙනි කුළුණ යුද හමුදාව ප්රමුඛ ආරක්ෂක අංශ , තමන්ගේ සීමාවෙන් ඔබ්බට ගිහිල්ලා කරපු කැපකිරීම , හතරවෙනි කුළුණ රාජ්‍ය සේවය , ගමේ පුංචි කමිටුව හැදිලා ග්‍රාම නිලධාරීවරයා ඇතුළු මේ හැමදෙනාම එකතු වෙලා සමෘද්ධි නිලධාරියා , පවුල් සෞඛ්‍ය සේවිකාවගේ ඉදල ගම ආරක්ෂා කරගත්ත විදිහ , ගරුත්වයක් විදිහට අපි මේ කුළුණු හතර සිහිපත් කරන්නට ඕනේ ...
ඊළඟ පරිච්ඡේදය 2022 ජනවාරි 29න් ඔබ්බට නොපෙනෙන , කාටද කියන්න පුළුවන් මේ වසංගත තත්වය නිමා වෙනවා කියල , පළවෙනි එන්නත ලබා ගත්තු අපේ ආනන්ද විජේවික්‍රම වෛද්යතුමම මේ මෑතකදී මාධ්‍යට කියනවා මේ යන විදිහට ගියොත් තත්වය බභයානකයි කියලා , මිනිස්සු බය කරන්න නෙමෙයි මිනිස්සුන්ට තමන්ගේ වගකීම සිහිපත් කරන්න , වගකීම් රහිත අපේ හැසිරීම සිහිපත් කරන්න , අද සියයට තිස් හයට අමාරුවෙන් ආවේ තුන්වෙනි එන්නත ජාතික ප්‍රතිශතය , දැන් ෆයිසර් එන්නත ඕනේ තරම් තියෙනවා , වරප්‍රසදයක් නෙමෙයි , පළවෙනි එන්නත වරප්‍රසාදයක් , දැන් මේ සිල්ලරට තියෙනවා , ලෝකේ හොදම එන්නතයි කියල කියන එක , ඇයි මේක ගන්නේ නැත්තේ , මිථ්‍යාව , අවිද්‍යාත්මක මත , වෛරී සහගත දේශපාලන ප්‍රකාශන , අන්තවාදී ආගමික විශ්වාසයන් , නිසා තුන්වෙනි එන්නත්කරණය ඒ කියන්නේ පූර්ණ එන්නත්කරණයට බාධාවක් ඇති වෙලා තියෙනවා , ඒ නිසා මිථ්‍යාව නෙමෙයි අවිද්‍යාව නෙමෙයි එන්නත්කරණය පමණමයි අපේ අනාගතය තීන්දු කරන්නේ , එයින් පරිභාහිරව ඔබ මොහොතක් හිතන්න , පාලනය කරන්න බැරිවෙලා අපිට නැවත පාසල් වහන්න වුණොත් මොකද වෙන්නේ , අවුරුදු එක හමාරක් වහපු පාසල් තව දුරටත් වහන්න වුනොත් මොකද වෙන්නේ , පාසලක් වහනවා කියල කියන්නේ ඉස්කෝලේ තාප්පෙත් එක්ක තියෙන ගේට්ටුව වාහන එක විතරක් නෙමෙයි , ඉස්කෝලයක් වහනවා කියන්නේ ශිෂ්ටාචාරයක් වහනවා කියල කියන එක , සංස්කෘතියක් වහනවා කියල කියන එක , අපිට පුළුවන්ද ජාතියක් විදිහට නැවත පාසල් ටික වහගන්න , විශ්වවිද්‍යාල විද්‍යාපීඨ ටික වහගන්න , සමාජේ අපි එක මිටට ඉඳල කියන්නට ඕනේ මෙන්න විසඳුම තියෙනවා එන්නත්කරණය තුන්වෙනි එන්නත,මේ තුන්වෙනි පරිච්ඡේදේ අපේ වගකීම වෙන්න ඕනේ ඒක.....
අද දවසේ ස්තුතිය ගෞරවය කෘතවේදීභාවය වගේම මෙන්න මේ අධිෂ්ඨානය අපි ඇති කරගන්නට ඕනේ , පූර්ණ එන්නත්කරණයකට රට ගෙනියන්නට ඕනේ කියල කියන වගකීම අපි ඉෂ්ටකරන්නට ඕනේ , පුරවැසි වගකීම , එන්නත්කරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ වගකීම ඉෂ්ට කරලා තියෙනවා , පුරවැසියාගේ වගකීම ඉෂ්ටකිරීමේ අධිෂ්ඨාන සහගත දිනය විදිහට අද දිනය අපේ හෘද සාක්ෂියේ තැන්පත් කරගන්නට ඕනේ කියල කියන එකයි මගේ යෝජනාව “
මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය සනත් කරුණාරත්න, ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තාරක ලොකුමාරඹගේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ එන්.වයි. සමරවීර යන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය සේවා නිලධාරීන් හා සේවක මණ්ඩල සාමාජිකයන් එක්ව සිටියහ.