රැකියා ඇබෑර්තු පවතින ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පාඨමාලා ආරම්භ කරන ලෙස වෘත්තිය පුහුණු පාඨමාලා සිදුකරන රාජ්‍ය ආයතනයන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය. තරුණ තරුණියන් වැඩි පිරිසකට විදේශ රැකියා ලබාදිම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදි පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කලේය.

වෘත්තිය මට්ටමේ විදේශ රැකියා අවස්ථා ලබාදිම මෙන්ම පාසල් අධ්‍යාපනය හැරයන තරුණ තරුණියන් පුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශ රැකියා සදහා යොමු කිරිම කෙරෙහි ද මෙහිදි විශේෂ අවධානයක් යොමුවිය. නිපුණතා සහිත එහෙත් සහතිකයක් නොමැති පිරිස කෙටි කාලීන පුහුණුවක් තුලින් විදේශ රැකියා සදහා සුදුසු නිපුණ ශ්‍රමිකයන් බවට පත්කිරිමටත්. විදේශ රැකියා වෙළෙදපලට මෙරට තරුණ ප්‍රජාව සම්බන්ධ කල හැකි ක්‍රමවේදයක් නිර්මාණය කිරිම පිළිබඳවත් මෙහිදි සාකච්ඡාවට ලක්විය.

රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා දැනට රැකියා ඇබෑර්තු පවතින රටවල් සහ රැකියා ක්ෂේත්‍ර පිලිබදව මෙහිද අග්‍රාමාත්‍යතුමාව දැනුවත් කළේය. මේ වන විට ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, රුමේනියාව, දෝහ කටාර් ඇතුලු රටවල් 22 ක් සදහා ඇබෑර්තු එක්ලක්ෂ 83 දහසකට ශ්‍රමිකයන් යොමු කිරිමේ අවශ්‍යතාව ඇති බවට මෙම සාකච්ඡාවේදි කරුණු ඉදිරිපත්විය.