74 වන නිදහස් සමරුව නිමිත්තෙන් කොළඹ නිදහස් මන්දිරයේ අද සර්වරාත්‍රික පිරිත් දේශනයක් කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී හෙට සංඝගත දක්ෂිණාවක් පිරිනැමිමට විධිවිධාන යොදා තිබේ. අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් යන තේමාව යටතේ 74 වන නිදහස් සමරුව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිකුරාදා පෙරවරුවේ පැවැත්වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන ආරාධිතයායි. එතුමාගේ සම්ප්‍රාප්තිය සමග උත්සවය ඇරඹෙයි. නිදහස දිනා ගැනීම සදහා ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ විරුවන් සිහි කිරීම සදහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වෙයි. ජනාධිපතිතුමා ජාතිය අමතන්නේ ඉන් අනතුරුවයි. ත්‍රිවිධ හමුදාව එතුමා වෙනුවෙන් සම්මාන මුර පෙලපාලියක් පවත්වයි. ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, ජාතික ශිෂ්‍යභට බලකාය මෙන්ම සංස්කෘතික කණ්ඩායම් ඉදිරිපත් කරන ආචාර පෙලපාලිය හා සන්නද්ධ රථ පෙලපාලිය පැවැත්වෙන්නේ ඉන් අනතුරුවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇමති චමල් රාජපක්ෂ මහතා පැවසුවේ මෙවර නිදහස් උත්සවය චාම් එහෙත්,අභිමානවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බවයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර නිදහස් දින සැමරුම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව ජෛව බුබුලක් ලෙස ක්‍රියාත්මක වෙයි.