ලෝක තෙත්බිම් දිනය අදයි. 1971 ඉරානයේ රැම්සා නගරයේදී ජාතීන් 21 ක් එක්ව තෙත්බිම් රැක ගැනීම හා තෙත්බිම්වලට ආදරය කරමු යන තේමාව යටතේ සම්මුතියකට අත්සන් තැබීය. රම්සා සම්මුතිය ලෙස හැදින්වෙන එම එකගතාව මගින් සෑම වසරකම පෙබරවාරි 02 වැනිදා ලෝක තෙත්බිම් දිනය ලෙස නම් කෙරිනි. ලෝකයේ පළමුවරට තෙත්බිම් දිනය සැමරුවේ 1997 දීය. 1990 ජුනි 15 වැනිදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ බුන්දල අභය භුමිය පළමුවෙන් රම්සා තෙත්බිම් ලැයිස්තුවට ඇතුලත් කිරීමෙන් පසුව එම වසරේ ඔක්තෝබර් 15 වැනිදා ශ්‍රී ලංකාව එම සම්මුතියට අත්සන් තැබීය. ශ්‍රී ලංකාවේ පිහිටි රම්සා තෙත්බිම් සංඛ්‍යාව 06 කි. ඒවායේ විශාලත්වය හෙක්ටයාර් එක්ලක්ෂ 98 දහස් 172 කි. බුන්දල, ආනවිරුන්දාව, මාදුගග, වන්කාලෙයි, කුමන තෙත්බිම් පොකුර හා විල්පත්තු තෙත්බිම් පොකුර ඒවා වෙයි. ඊට අමතරව ලෝකයේ පළමු රම්සා තෙත්බිම් නගරය ලෙස කොළඹ නගරය නම්කර තිබේ. ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන යටතේ පරිසර ආරක්ෂක ප්‍රදේශ ලෙස සංවේදි පරිසර පද්ධති 10 ක් ප්‍රකාශයට පත්කර ඇත. නුවරඑළිය ග්‍රෙගරි වැව, ගම්පහ මුතුරාජවෙල, කොළඹ තලංගම වැව, බුලත්සිංහල වලව්වේවත්ත, වතුරාන, කොළඹ හා කඵතර දිස්ත්‍රික්ක හරහා දිවෙන බොල්ගොඩ වැව හා වරාතැන්න හක්කිඳ තෙත්බිම් පද්ධති ඒවායි.
මිනිසා සහ ස්වභාව ධර්මය උදෙසා තෙත්බිම් ක්‍රියාකාරීත්වය යන්න මෙවර ලෝක තෙත්බිම් දිනයේ තේමාවයි. ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් පරිසර අමාත්‍යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව සංවිධාන කළ වැඩසටහනක් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවැත්වෙයි. ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රධාන ආරාධිතයායි.