වඩාත් පිරිමැසුම්දායක විදුලි පරිභෝජනයක් සඳහා මිලියන 6 ක පමණ විදුලි පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය අතර සාකච්ඡාවක් පෙබරවාරි  පළමුවෙනිදා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .

පාරිභෝගිකයින් පමණක් නොව පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් ඉලක්ක කරගනිමින් නිර්මාණශීලි අධ්‍යාපනික වැඩසටහන් ඉදිරිපත් කිරීමේ වැදගත්කම ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් මෙහිදී අවධාරණය කළ අතර මාධ්‍ය ආයතන වල සහාය මේ වෙනුවෙන් ලබා දීම ජාතික වගකීමක් බව ද සඳහන් කළේය.

විදුලිය පරිභෝජනයේදී අනුගමනය කළ හැකි ඇතැම් සරල ක්‍රියාවන් ගෙන් ලබාගත හැකි ප්‍රතිඵල ඉතා ඉහළ බවත්, වොට් 25ක විදුලි බුබුල බැගින් පැයක පමණ කාලයක් සෑම නිවසකම විදුලිය නිවා දැමීමෙන් මෙගා වොට් සියයකට ආසන්න විදුලි බලයක් දෛනිකව ඉතිරි කරගත හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සාමාන්‍ය මාසික විදුලි පරිභෝජනය අඩු කරගන්නා විදුලි පාරිභෝගිකයින් දිරිගැන්වීමේ වැඩසටහන් මෙන්ම  විකල්ප බලශක්තීන් පිළිබඳව දැනුවත් කිරීම ආදී ක්‍රමවේද සඳහා මාධ්‍ය ප්‍රචාරණයේ වැදගත්කම සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් විසින් මෙහිදී පැහැදිලි කළහ.

රටට එළිය සහ බලය ලබා දෙන විදුලි බල උත්පාදනය, පරිභෝජනය හා පිරිමැස්ම පිළිබඳ නව කතිකාවතකට වැඩි  ඉඩක් ලබා දීම සියලු මාධ්‍ය වල යුතුකම හා වගකීම බවත් තමා විදුලිබල අමාත්‍යවරයා වශයෙන් ජාතික බලශක්ති දිනයක් නම් කළේ ද මේ අරමුණින් බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිට , අමාත්‍යංශ අතිරේක ලේකම් රුවන් සත්කුමාර ,අසුනිත්‍ය බලශක්ති අධිකාරියේ  සභාපති ඉංජිනේරු රංජිත් සේපාල ,නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  හර්ෂ වික්‍රමසිංහ ,  රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක සහ සැලසිනෙ සභාපති හරිත ගුණවර්ධන යන මහත්වරුන් එක්ව සිටියහ.