මිලියන සංඛ්‍යාත දූපුතුන්ගේ විභාග පැවැත්වීමට අදාළ පරිසරය නිර්මාණය කරගැනීමට හැකිවීම මේ බියකරු වසංගතය පරාජය කරමින් ශ්‍රී ලාංකීය ජාතියක් ලබාගත් විශිෂ්ඨතම ජයග්‍රහණයක් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා කොළඹදී අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව කියා සිටියේ ය.
ඊයේ දිනයේ ආරම්භවූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2438 ක දී පැවැත්වේ. වසංගත තත්වයක් මධ්‍යයේ මෙවර විභාගය සාර්ථකව පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයට, විභාග දෙපාර්තමේන්තුවට සහ රටේ සෞඛ්‍ය අංශ වෙත රජය තම ගෞරවය පුද කරන බව ද ඇමතිවරයා පැවසීය.
“ආණ්ඩුවක් විදිහට, අපි ඉතාමත්ම ඉහළ සතුටක් අපි එමගින් භුක්ති විඳිනවා. ඊයේ දවසේ ඔබ මාධ්‍ය වාර්තා කළා තුන් ලක්ෂ හතලිස් පන්දහස් දෙසිය හතලිස් දෙකක් දූපුතුන් පිරිසක් උසස් පෙළ විභාගය ආරම්භ කළා. විශේෂයෙන් කොවිඩ් ආසාදනය වූ දූපුතුන් 136 දෙනෙක් විශේෂ මධ්‍යස්ථාන 29 ක දී විභායට පෙනී සිටිනවා. අපි අධ්‍යාපන අමාත්‍යාංශයටත්, විභාග දෙපාර්තමේන්තුවටත් අපි ස්තුති වන්ත වන අතර සියළු දූපුතුන්ට අති විශිෂ්ට ජයග්‍රහණයක් මවුබිමට රැගෙන ඒමට අවශ්‍ය ශක්තිය ධෛර්යය සහ නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.”
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක ඇතිවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යවේදිනියක නැඟූ ප්‍රශ්ණයකට පිළිතුරු දුන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා සංවාදයක් පැවතීම අත්‍යවශ්‍ය කරුණක් බැව් පෙන්වා දුන්නේ ය.
“ආණ්ඩු පක්ෂ කණ්ඩායමක් ඇතුළේ ඇතිවන තර්කනය, විසංවාදය මත ගැටුමක් ලෙස අර්ථනිරූපනය කිරීම වැරදයි. විවිධ කරුණු කාරණා සම්බන්ධව සංවාදයක් පැවතීම අපේ රටේ දේශපාලන සංස්කෘතියට නුහුරු දෙයක් බවට පත්ව තිබෙනවා. සමාජයක නිරෝගීභවය සඳහා සංවාදය, තර්කණය, ප්‍රතිතර්කණය තිබිය යුතුයි. අපි පසුකරමින් සිටින්නේ අර්බුදකාරී මොහොතක්”.
පවතින විදුලි අර්බුදයට විසඳුම් සෙවීමෙහිලා කොටස්කරුවන් බවට පත්වීමේ වගකීමක් පුරවැසියන්ට සහ ජනමාධ්‍යයට ද පැවරී ඇති බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේ ය.
“මේ අර්බුදය කුමක්ද යන්න මනාව තේරුම් ගනිමින් එය විසඳීමේ කොටස්කරුවන් බවට පත්වීම පුරවැසියන්ගේ වගකීමක්. එම අර්බුදයට වගකිවයුත්තේ කවුද, කුමන ආණ්ඩුවක් කිනම් අවස්ථාවක සිදුකරන ලද වරදක් ද යන්න වෙනම විභාග කළ යුතු කාරණාවක්. නමුත් දැන් අවශ්‍යව පවතින්නේ එවැනි විභාගයක් නොව, එම අර්බුදය විසඳීමෙහිලා අපට කිනම් මට්ටමකින් දායකවිය හැකිද යන්න විමසා බැලීමයි. මම විදුලිබල අමාත්‍යාංශයේ කෙටි කාලයක් තුළ සිටි ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙස මම දන්නවා හාරලක්ෂ හැත්තෑ හතර දාහක් පමන වීථි පහන් තියෙනවා මුළු රටේම. කොළඹ නගරයේ පමනක් විදුලි පහන් 18,000 ක් පවතින බව මාධ්‍ය වාර්තාවක පළවුනා. රාත්‍රී කාලයේ එම විදුලි පහන් ක්‍රියාත්මක කිරීමට මෙගාවොට්ස් 26 ක ධාරිතාවයකින් යුත් බලශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වනවා. හාරලක්ෂ හැත්තෑ දහසක් වන වීථි පහන්වලට කොතරම් බලශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වනවා ද? අපේ රටේ මිලියන 7 ක් පාරිභෝගිකයන් පිරිසක් ඉන්නවා. ඒ නිසයි අපි පුරවැසි ඉල්ලීමක් කලේ වැඩිම විදුලි දහනයක් සිදුවන වේලාවන්හිදී අවම වශයෙන් වොට් විසිපහක විදුලි බල්බයක් හවස 6 ඉඳලා රෑ දහය වෙනකන් එක නිවසක නිවා දමන ලෙස. එවැනි තීන්දුවක් ගතහොත් එමගින් එක් රාත්‍රියකදී ඉතිරිවන විදුලිය ප්‍රමාණය රන්දෙනිගල ජලාශයෙන් උත්පාදනය වන විදුලිය ධාරිතාවයට වඩා වැඩියි. මෙවැනි අර්බුදකාරී අවස්ථාවක අප එවැනි කැපකිරීමක් කළ යුතුයි. මම විශේෂයෙන්ම කියන්නේ, මාධ්‍ය විදිහට මේකේ අඩුපාඩු හොයන්න, වැරැද්ද විවේචනය කරන්න, වැරැද්දට ඇඟිල්ල දිගු කරන්න, ඒ සියල්ලම කරන්න. හැබැයි පුරවැසියන්ගේ පැත්තෙන් මේ ඉල්ලීම පුරවැසියන්ට ඉදිරිපත් කරන්න පෙරමුණ ගන්න”.
ඉන්දීය ධිවරයන්ගේ බෝට්ටු වෙන්දේසි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැණයකට පිළිතුරු දුන් ඇමතිවරයා මෙම ධීවර ගැටළුවලට අදාළ ප්‍රවෘත්ති පළ කිරීමේදී ඊට මුහුණදුන් ජනකණ්ඩායම්වල ආවේගශීලීභාවය අවබෝධ කරගනිමින් එම ආවේගශීලීභාවයෙන් මිදී වාර්තාකරණයේ නිරතවන ලෙස සහෝදර දමිල මාධ්‍යවේදීන්ට ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස තමා ඉල්ලීමක් කරන බව පැවසීය.
“ මෙැවනි සිදුවීම් අළුත් දෙයක් නොවෙයි. මුහුදු සීමාව තුළ නිරතුරුව සිදුවන දෙයක්. මේ පිළිබඳව රාජ්‍යයන් දෙකම හොඳ අවබෝධයකින් ඉන්නවා. ඒ නිසා භූදේශපාලනික ඇති නොවන ආකාරයට සහ එම මුහුදු සීමාවන් සතු සම්පත් අදාළ රාජ්‍යයන්වල ජනතාවට ලබාගන්න පුළුවන්වන ආකාරයට මේ ගැටළුව අපි හැමදාම විසඳාගෙන තියෙනවා. හැබැයි අර්බුද මතුවනවා. කළමණාකරණය කර ගැනීමට අපහසු ප්‍රශ්ණ පැන නඟිනවා. ආවේගශීලීව පාර්ශවයන් හැසිරෙනවා. නමුත් ඉන්දියානු නාවික හමුදාවත්, ශ්‍රී ලාංකීය නාවික හමුදාවත් සාමය ආරක්ෂා වන මට්ටමින් ඉතා ඉහලින් තම රාජකාරිය ඉටුකරමින් සිටිනවා. නමුත් මන්නාරමේ සිට යාපනය දක්වා තීරය තුළ නොගැඹුරු මුහුදේ මත්ස්‍ය අස්වැන්න සම්බන්ධයෙන් මෙය දිගින් දිගට මතුවන ප්‍රශ්ණයක්. ඉතාම සීමිත අවකාශයක් තුළ විශාල ධීවර ප්‍රජාවක් ඒ සීමිත අස්වැන්න වෙනුවෙන් ඇතිකරගන්නා වූ ප්‍රශ්ණයක්. අප රටක් ලෙස ධීවර අමාත්‍යාංශයත්, විෂය භාර නිලධාරීනුත්, නාවික හමුදාවත් අපේ මුහුදු කලාපය තුළ අපේ රටේ පුරවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නවා. ඊට අපි පැකිලෙන්නේ නැහැ. ඉන්දියාවත් එහෙමයි. නමුත් රාජ්‍යයන් දෙක අතර ඇති මිත්‍රත්වය පළුදු නොවන ආකාරයට අපි ඒවා විසඳා ගන්නවා. අපේ බෝට්ටු ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට අරගෙන සමහරවිට රාජ්‍ය නායකයාගේ ඉල්ලීම පරිදි නඩු නැතිව නිදහස් කරපු අවස්ථාවන් ඕනේ තරම් තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමයේ එවැනි සිදුවීම් රාශියක් සිදුවුනා මට මතකයි. වතාවක් බෝට්ටු 26 ක් නිදහස් කළා. අපි අසල්වැසි, සහෝදර රාජ්‍යයන් දෙකක් විදිහට දෙරටේ සම්බන්ධතාවයන් පළුදු නොවන ආකාරයට මේ ගැටළු විසඳා ගැනීමට අප කටයුතු කරනවා.
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ද මේ අවස්ථාවට එක්විය.