ලෝකය ගැන අලුතින් සිතන, ජනතා සිතුම් ජයග්‍රහණය කරන දේශපාලනයක් අපේ රටට අවශ්‍යව තිබිණි. එය හුදෙක්ම කිසි දිනෙක ඉටු කළ නොහැකි බොරු පොරොන්දුවලින් ගහන වූ දේශපාලනයක් නොවිය යුතු බව ජනතාවගේ බලාපොරොත්තුව විය. සැබැවින් ඒ දේශපාලනය මේ මහ පොළොවේ යථාර්ථයක් කළ හැකි දේශපාලනයක් බව ජනතාව විශ්වාස කළහ. ඒ ප්‍රායෝගික දේශපාලනය අපේ රටේ ඇති කිරීමට පුළුවන් නායකයකු තෝරා ගත්තේ අපේ රටේ බුද්ධිමත් ජනතාවයි. ‘සෞභාග්‍යයේ දැක්ම’ නමැති ප්‍රායෝගික දේශපාලන න්‍යායපත්‍රය සමඟ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව අතරට පැමිණියේ ඒ දේශපාලන ක්‍රියාවලිය මේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙනි.
ලෝක ආර්ථිකයම පසුබෑමක
විවිධ වහසි බස් දොඩමින් ජනතාව මුළා කිරීම වෙනුවට කළ හැකි දෙයක් මේ රටේ ප්‍රායෝගික යථාර්ථයක් කිරීම සෞභාග්‍යයේ දැක්මේ මුඛ්‍ය පරමාර්ථය විය. මුළු ලෝකයම උඩු යටිකුරු කරමින් කොවිඩ් නමැති වසංගතය මුළු ලෝකයේම ආර්ථික පසුබෑමකට ලක් කළේ ගෝලීය වශයෙනි. ඒ රුදුරු වසංගතයෙන් මුළු ලෝකයේම ජනතාව මරණයේ දොරටුව අබියසට පැමිණ තිබූ මොහොතක අප වන් කුඩා රටකට කවර නම් කතා ද? අපිදු බොහෝ සෙයින් ඒ රුදුරු උවදුර හමුවේ අසරණ වුව ද ජනතාවාදී නායකයකු ලෙස ඒ ඉතාම අසීරු ඒ රුදුරු ඉරණමට මුහුණ දුන්නේ දැඩි ආත්ම විශ්වාසයෙනි. එන්නත්කරණය මේ රුදුරු ව්‍යසනයෙන් ගොඩ ඒමට ඇති ඒකායන මාර්ගය බව හඳුනාගත් වත්මන් රජය ඉතා ඉක්මනින් එන්නත්කරණය මුළු රටේම සමස්ත ජනතාවට ලබා දුන්නේ ජාති, ආගම්, කුල භේද පමණක් නොව පොදු පෙරමුණේ ද, ශ්‍රීලනිපයේ ද, එජාපයේ ද, ජවිපෙ ද කියා නොසිතා සමස්ත ජනතාව බේරා ගත යුතුය යන පොදු මානුෂීය හැඟීමෙනි. ඒ මරණයේ අඳුරු සෙවණැලි වැටී තිබුණ අවස්ථාවේ දී අපේ රටේ ත්‍රිවිධ හමුදාව එන්නත්කරණ වැඩසටහන ඉතාම ක්‍රමානුකූලව සංයමයෙන් යුතුව සිදු කළේ මානුෂිකත්වය පෙරදැරි කර ගෙන දැඩි කැපවීමෙන් බව ද සිහිපත් කළ යුතුව ඇත. විශේෂයෙන් දිළිඳුකම පිටුදැකීමේ කාර්ය සාධක බළකාය පිහිටුවා නිවෙස්වලට වී සති මාස ගණන් එක්තැන් වූ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම රුපියල් 5000ක ආධාර මුදලක් ද ලබා දුන්නේ දිළිඳු ජනතාව නඟාසිටුවීමට ඇප කැප වූ රජයක් වශයෙනි. රුපියල් 5000ක දීමනාව දෙවරක්ම ලබා දීමට රජය කටයුතු කළේ පැරැණි ඉන්දියාවේ ජීවත් වූ මහා අධිරාජ්‍යයකු වූ අශෝක රජතුමාගේ ‘සංඛේ මනුස ප්‍රජා’ යන “රටේ පුරවැසියෝ සියලු දෙනාම මගේ දරුවෝ” යන පොදු මිනිස් අවශ්‍යතා හඳුනාගත් ජනතාවාදී පාලන තන්ත්‍රයක් අපේ රටේ පැවැති බැවිනි.
ප්‍රධාන ආදායම් මාර්ග
අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග අතර වූ සංචාරක ව්‍යාපාරය කොවිඩ් වසංගතයෙන් බිඳවැටුණේ එයින් ජීවත් වූ විශාල පිරිසකගේ ආදායම් මාර්ග අහිමි කරමිනි. විශේෂයෙන් ගුවන්තොටුපොළවල් වසා දැමීමෙන් බොහෝ රටවල් හුදෙකලා බවට පත් කළේය. එහෙත් වත්මන් රජය විවිධ රටවල්වල ජීවත් වූ ජනයා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගත්තේය. චීනයේ වූහාන් නගරයේ ජීවත් වූ සරසවි සිසු සිසුවියන් පිරිසක් අපේ රටට රැගෙන ආවේ විශේෂ ගුවන් යානාවක් මඟිනි. ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන නායකයකු වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට දිරිය දීමට වර්තමාන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ක්‍රියා කිරීම විශාල අස්වැසිල්ලක් වූ බව ද නොරහසකි. මිනිස්සු මිහිතලයට බොහෝ ආදරය කරති. 30 වසරක යුද සාපයෙන් මේ මිහිතලය බේරා ගත් නායකයා ලෙස එදා මානුෂික මෙහෙයුමෙන් රට මුදා ගත් මොහොතේ දී කටුනායක ගුවන්තොටුපොළ භූමියේ දී මේ මහ පොළොව සිප ගත් වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද මේ සෑම කටයුත්තකදීම සොයා බලා කටයුතු කළ බව ද සිහිපත් කළ යුතුව ඇත. කොවිඩ් කොවිඩ් කියමින් එයම මතුරා සිටීමට වඩා කොවිඩ් මතින් නැඟී සිටින රටක් බවට පත් කිරීමට වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ක්‍රියා කළේය. ඒ අනුව රජයේ ඉදිරි වැඩපිළිවෙළ කාර්යක්ෂම කිරීමට නිතර සොයා බලා කටයුතු කළේය. “සෞභාග්‍යයේ දැක්ම” පෙරටු කොට ගත් “ගම සමඟ පිළිසඳර” වැඩසටහන සමඟ ජනාධිපතිතුමා ගමින් ගමට ගොස් මිනිසුන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට ක්‍රියා කළේය. ඒ කටයුත්ත ඉතා දරුණු අයුරින් කොවිඩ් උවදුර පැන නඟින තෙක් සක්‍රීයව ගෙන ගිය බව ද සඳහන් කළ යුතුව ඇත. එහිදී හිනිදුම් පත්තුවේ ලංකාගම ප්‍රදේශයේ දුෂ්කරව ජීවත් වූ ජනතාවට අස්වැසිල්ලක් වෙමින් ලංකාගමට කාපට් ඇතිරූ පාරක් හදා දුන්නේ ඒ ගමේ ජීවත් වෙන පාසල් දරුවන් අති බිහිසුණු අයුරින් කැඩී බිඳී තිබූ කම්බි පාලමෙන් ගිං ගඟ තරණය කිරීමේ දී සිදු වන ජීවිත අවදානමෙන් ගලවා ගනිමිනි. කම්බි පාලම වෙනුවට අලුත් පාලමක් ලබා දුන්නේ ද ලංකාගමට ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තියත් සමඟය.
ගමේ ප්‍රධාන ජීවනෝපාය
කාපට් ඇතිරූ පාරේ දෙණියායට ගමන් කිරීමට බස් රථයක් සපයා දුන්නේ පාසල් දරුවන්ගේ ද ගමේ වැඩිහිටි සියලු දෙනාගේම කිසිදා කිසිදු රජයකින් ඉටු නොකළ බලාපොරොත්තුවක් මල්ඵල ගන්වමින් බව ද සිහිපත් කළ යුතුව ඇත. ඔවුන්ගේ ගමේ ප්‍රධාන ජීවනෝපාය වූ පැණි හකුරු කර්මාන්තයට ද අලුත් වෙළෙඳපොළක් නිර්මාණය වූයේ ද ඒ අයුරිනි. මහනුවරත් මහියංගණයත් අතර පිහිටි ඉතාම දුෂ්කර ගම්මානයක් වූ මීමුරේ ගම්මානයට ද ජනාධිපතිතුමා සංචාරය කරමින් ගමේ ජීවත් වෙන ජනතාව සමඟ සුහද පිළිසඳරේ යෙදෙමින් ඒ අතිදුෂ්කර ගම්මානයට කිසිදා වාහනයකින් යෑමට නොහැකි දුෂ්කර මාර්ගය කාපට් අතුරා වැඩි දියුණු කළේය. ඒ ගම්මානයේ ද කිතුල් කර්මාන්තයෙන් ජීවත් වූ ජනතාවගේ නිෂ්පාදනවලට ඉහළ වෙළෙඳපොළක් නිර්මාණය වූයේ ද ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනෙන් බව අමතක නොකළ යුතුය. බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, වෙලංවිට ගම්මානයේ චාරිකා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොටබෝගස්තැන්නට ක්‍රීඩාංගණයක් ඉදිකොට දුන්නේය.
ගම්මාන 8ක් ඔස්සේ හපුතලේ සිට වෙලංවිට දක්වා යොදවමින් ප්‍රවාහන දුෂ්කරතාවට මුහුණ දුන් ජනතාවට බස් රථ දෙකක් අස්වැසිල්ලක් සපයා දුන්නේය. වන අලි තර්ජනයට මුහුණපා සිටි ප්‍රදේශයේ ජනතාවට අලි වැටක් ඉදි කරදී ඔවුන්ගේ ජීවිත අවදානමෙන් මුදා ගැනීමට ක්‍රියා කළ බවත් සඳහන් කළ යුතුව ඇත.
ගම සමඟ පිළිසඳරක්
‘ගම සමඟ පිළිසඳරක්’ තුළින් මැදිගිරියේ අති දුෂ්කර ගම්මානයක ජල පිපාසාවෙන් පෙළුණ ජනතාවට කවුඩුල්ල වැවෙන් ජලය ගෙන ඔවුන්ගේ ජල පිපාසය සංසිඳුවීමට පියවර ගත්තේ ජනතාවගේ දුක හඳුනන ජනතාවාදී නායකයකු වශයෙනි. අපේ රටේ ජීවත් වූ ප්‍රවීණ කිවිවරයකු වූ මහගමසේකරයන් “ගම අමතකයි” යන පද්‍ය පංතියෙන් බුද්ධිය විසින් සිදාදියට එන්න පාර කියූ බවත් පසුව ගමට එන්න පාර අමතක වූ බවත් ඉතාම සියුම් ලෙස තමන් ජාත භූමියත් සිය මවත් එක සමාන බව පසක් කළේ මෙසේය. “ඈත ඉඳන් අත වනලා අම්මේ මට ගමට එන්න පාර කියාපන්නේ” යනුවෙනි. එදා මහගමසේකරයන් පසක් කළේ ගමත් මවත් අමතක නොකළ යුතු බවය. ජනහිතකාමී ජනතාවාදී නායකයන් කිසි දිනෙක ගම අමතක නොකරන්නේ ගමේ මිනිසුන්ට ඇති මානව දයාව හේතුවෙනි.
ජනමූල නායකයන් බිහිවන්නේ ජනමූල සමාජයකය. ඒ ජනමූල සමාජයේ පදනම සකස් වී ඇත්තේ ගමෙනි. මුලින්ම මහින්ද රාජපක්ෂ නම් දේශපාලන පෞරුෂය ගොඩනැඟුණේ ද ඒ ජනමූල සමාජය වූ ගමෙනි. ගෝඨාභය රාජපක්ෂ නම් දේශපාලන පෞරුෂය ද ශක්තිමත් කළේ ගම නමැති ජනමූල සමාජයෙනි. ඒ ජනමූල සමාජයේ නිමැවුම්කරුවා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බව ද අවිවාදිතය. සැබෑ පාලකයන් තුළ ඍජු බව ද මෘදු බව ද ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතාම ඍජු තීරණවලට පැමිණෙන දුරදිග බලා තීරණ තීන්දු ගන්නා ජනතා නායකයෙකි. ඒ අනුව අපේ මහ පොළොවට වාර්ෂිකව මෙට්‍රික් ටොන් අටලක්ෂයක් දොළොස් ලක්ෂයක් අතර තෙල් පොහොර ප්‍රමාණයකින් මේ මහා පොළොවට එකතු වන ආසනික් ප්‍රමාණය කිලෝ තිස්දාහකි. දිගු කාලයක් මෙම උග්‍ර විෂ සහිත රසායනික ද්‍රව්‍ය පොළොවට එක්වීමෙන් ඉතාම ශීඝ්‍රයෙන් අපේ රටේ දහදිය වගුරවා වැඩ කරන ගොවි මහත්වරුන් ඉතාම ඛේදජනක අයුරින් වකුගඩු රෝගීන් බවට පත් කළේය.
බොරදියේ මාළු බෑම
ඩොලර් මිලියන 400ක් වැය කර ගෙන්වන රසායනික පොහොරවලින් අත් වී ඇති දරුණු ඉරණම තේරුම් ගත් සංවේදී නායකයකු වශයෙන් මෘදු ගුණයත් ඍජු ගුණයත් පෙරදැරි කර ගෙන රසායනික පොහොර භාවිතය එක රැයකින් තහනම් කළේය. එය විශිෂ්ට නායකයකු ගත් ඉතාම සංවේදී තීරණයකි. එහෙත් තෙල් පොහොර වෙළඳුන් සමඟ එකතු වී ඇති දේශපාලන ව්‍යාපාර අසරණ ගොවි ජනතාව නොමඟ යවමින් බොරදියේ මාළු බෑම හොඳින් සිදු කරති. එහෙත් සත්‍යය ජය ගැනීම කිසිවකුට වළකාලීමට නොහැකිය. මේ සියලු බාධක අභියෝග මැද රටේ සංවර්ධන කටයුතුවල කිසිදු අඩුවක් සිදුවී නොමැති බවත් සිහිපත් කළ යුතුව ඇත. මේ වන විට සෞඛ්‍ය අංශය ගැන සඳහන් කළොත් අලුතින් බෙහෙත් වර්ග නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇත. මේ වන විට හොරණ මිල්ලෑවේ ඖෂධ කර්මාන්ත ශාලා 5ක් ඉදිකොට බිලියන 5 දක්වා නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා ඇත්තේ අභියෝග රැසක් මැදය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව හම්බන්තොට ඖෂධ ප්‍රති අපනයනය සඳහා නව කර්මාන්ත ශාලාවක් ද ඉදි කොට ඇත. මේ වන විට අපේ රටේ ඖෂධ නිෂ්පාදනය කොට ඉතිරි කර ගත් මුදල රුපියල් මිලියන 68කි. අධ්‍යාපනය පැත්තෙන් ගත් කල ද සමස්ත ගුරු පරපුරේ ද උන්නතිය වෙනුවෙන් ගුරු වැටුප් වැඩි කිරීම ඔවුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන්දීම ජනතාවාදී රජයක් වශයෙන් අගය කළ යුත්තකි. කඩා වැටී තිබූ සංචාරක ව්‍යාපාරයට නව ජීවයක් එක් කිරීමට හිටපු රුසියා තානාපති උදයංග වීරතුංග මහතා කොවිඩ් මුල් අවදියේ සිට ක්‍රියා කළ බව ද සඳහන් කළ යුතුව ඇත. 2020 ජනවාරි මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 75,000 ඉක්මවා තිබේ. ඒ අනුව ජනවාරි මස 01 වැනිදා සිට 29 වැනිදා දක්වා සංචාරකයන් 76,538 දක්වා වැඩි වී ඇත. මේ වසරේ ලක්ෂ 11කට වැඩි සංචාරකයන් මෙරටට පැමිණෙන බවට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීම
මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීම ගැන සඳහන් කිරීමේ දී මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉතිරි කටයුතු අවසන් කිරීමට ඇත්තේ ද සුළු කාලයකි. කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු ජනතාවක් ජීවත් වෙන රටක කුඩා බිම් තීරුවක වුව ද කුමන හෝ භෝගයක් වගා කිරීමට පුළුවන්කම ඇත. ඒ අනුව වර්තමාන ආණ්ඩුව සෑම බිම් අඟලකම වගා කිරීමට ජනතාව පෙලඹවීමේ කටයුත්තකට මුල පුරා ඇත. මුදල් අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ මේ කටයුතු සිදුවීම එහි ඇති සුවිශේෂ බවයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, සමෘද්ධි අමාත්‍යාංශය, ආයුර්වේද අමාත්‍යාංශය, ගොවිජන සේවා මධ්‍යස්ථාන, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආදි සියලු රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගෙන මෙම උදාර කටයුත්ත ආරම්භ කොට ඇත. පර්චස් 20ක් තිබෙන ඉඩම්වල ගෙවතු ලක්ෂ 22ක් සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි. ගොවීන්ට රුපියල් 5000ක් දිරි දීමනාවක් වශයෙන් ගෙවීමට ද රජය ක්‍රියා කරයි. පැළ සහ බීජ රජයෙන් දීමට පියවර ගෙන ඇත. පලතුරු, එළවළු, පොල් පැළ, අපනයන භෝග පැළ, ඖෂධ පැළ එම බීජවලට ගිය වියදම රුපියල් 5000ක මුදල අඩු කර ගැනීමට රජය බලාපොරොත්තු වේ. පැළ තවාන් 12,000ක් පමණ ඇති කිරීමට නියමිතය. මෙම පැළ වර්ග සඳහා දිස්ත්‍රික් ලේකම්වරු හරහා මුදල් නිදහස් කිරීම සිදු කරනු ඇත. අල, බතල වැනි භෝග වර්ග ද වගා කිරීමට බලාපොරොත්තු වේ. තවාන් පිළිබඳ පුහුණු තාක්ෂණික වැඩසටහනක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සපයා දෙයි. සමෘද්ධි, ගොවිජන සේවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ප්‍රාදේශීය ලේකම්වරු ද මේ කටයුත්තට දායක වී ඇත. පැළ තවාන් තුළින් එක ගොවියකුට පැළ 40ක් සපයා දීමට බලාපොරොත්තු වේ. කොම්පෝස්ට් පොහොර භාවිතය සහ කොම්පෝස්ට් පොහොර සාදා ගන්නා ආකාරය ද ගෙවතු වගා පුහුණුව සමඟ ගොවිකම් පුහුණුව සපයා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කරවිට මහතා ප්‍රකාශ කළේය.
මේ වැඩසටහනේ සියලු කටයුතු මාර්තු මාසයේ අග සිදුකිරීමට බලාපොරොත්තු වේ. මාර්තු මාසයේ පැමිණෙන වැසි සහිත කාලගුණික ස්වභාවය ද මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට අවශ්‍ය වී ඇත. එසේම මෙම කටයුතුවල සම්බන්ධිකරණය දිළිඳුකම පිටුදැකීමේ කාර්ය සාධක බළකාය මඟින් සිදු කෙරේ. සරු බිමක සරු අස්වැන්නකින් ජනතාව සුඛිත මුදිත වනු දැකීම රජයේ අපේක්ෂාවයි.