චමුදිත සමරවික්‍රම ප්‍රවීණ මාධ්‍යවේදියාට එල්ල කළ අශූචි ප්‍රහාරයෙන් වහනය වනුයේ කුණුවූ සමාජ කණ්ඩායමක, කුණුවූ සමාජ පිරිස්වල දුර්ඝන්ධය යැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ප්‍රහාරය පිළිබඳ විශේෂ විමර්ෂණ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ දියත් කරමින් සිටිති. එම පුද්ගලයන් කවුරුන් හෝ වේවා සමාජයට හෙළිදරව් කිරීමට ඉදිරිපත් වන ලෙස ඇමතිවරයා මාධ්‍යයෙන් ඉල්ලා සිටී. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා කොළඹදී අද පැවති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව කියා සිටියේ ය.

මාධ්‍ය හමුවේදී එම සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේ පැවසීය.

“කැබිනට් මණ්ඩලය ලෙසින්ම, මා විෂය බාර මාධ්‍ය ඇමතිවරයා විදිහටත්, ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කළ යුතුයි චමුදිත සමරවික්‍රම අපේ සහෝදර මාධ්‍යවේදියා, එතුමා මේ රටේ ඉතාම ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක්. හිරු නාලිකාව නියෝජනය කරන. ඔහුට එල්ල කරනු ලැබූ ප්‍රහාරය ඒ ප්‍රහාරයටම උරුම වූ පිළිකුලෙන් යුතුව බැහැර කරනවා කියන කාරණය . පොලිසිය ඒ පිළිබඳ ක්‍රමවත් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. මෙම පුද්ගලයා කවරෙකු වුවත්  ඔහු සමාජයට හෙළිදරව් කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස මම මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. අපි නිදහස් මාධ්‍යයක වටිනාකම සහ අවශ්‍යතාවය ඉතාම හොඳින් තේරුම් ගෙ න තියෙනවා. දේශපාලඥයන් විදිහට, ආණ්ඩුවක් විදිහට අපි ඔබෙන් ඒ ඉල්ලීම කරන්න කැමතියි. මේ අශූචි ප්‍රේමියා කවුරු වුනත්, ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස හඬක් නැති, වැසිකිලියක සැඟවී සිටින කෙනෙක් බව ඉතාම පැහැදිලියි. මම ඊයේ පෞද්ගලිකව චමුදිතගේ නිවසට ගියා. ඔහුගේ බිරිඳ, ඔහුගේ එකම දියණිය, ඔහුගේ පියා, මව ඒ සියලුදෙනාම ඉතාමත්ම කම්පනයකින්, තිගැස්සීමකින් ඉන්නේ. මේ අශුචි ප්‍රහාරය එල්ල කිරීමෙන්, වහනය වෙන්නේ කුණුවූ සමාජ කණ්ඩායමක, කුණුවූ සමාජ පිරිස්වල දුර්ඝන්ධය කියන එක අපි හැමෝටම පැහැදිලි කාරණාවක්”. 

ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සැබැවින්ම අර්ථවත් වන පරිසරයක් තුළ මාධ්‍ය භාවිතය කරගෙන යාමට රටේ මාධ්‍යකරුවන්ට අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් කැපවන බව ද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළ අතර වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.