දරුවන්ගේ කුසලතා හා දක්ෂතා යොමු වී ඇත්තේ කවර දිශාවකටදැයි හඳුනාගෙන ඔවුන් දිරිමත් කර මගපෙන්වීම ගුරු දෙගුරුන්ගේ මෙන්ම බලධාරීන්ගේද වගකීම හා යුතුකම බවත් එවැනි පුළුල් දැක්මක් ඔස්සේ රටේ අධ්‍යාපන ක්‍රමය ද සකස් විය යුතු බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ (26 වෙනිදා ) මාතර ශාන්තමරියා කන්‍යාරාමයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.


ශාන්ත මරියා කන්‍යාරාමයේ 3 වසරේ ඉගෙනුම ලබන ලෙනසි අපරැක්ක දියණිය රචනා කළ “සිරිමල් හා කුරුළු පැටියා” නම් වු පොත පිළිගැන්වීමේ උත්සවයට සහභාගී වූ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ “ 2020 අප්‍රේල් මස 13 වෙනිදා රාත්‍රියේ සිංහල හා දමිළ සංස්කෘතික මහා මංගල්‍යයට දොරටු විවර වූ වෙලාවේ, නොනගතය ආරම්භ වූ වෙලාවේ මම රටේ දූ පුතුන්ගෙන් එවකට අධ්‍යාපන අමාත්‍යවරයා විධියට දුවේ, පුතේ, අපි පොතක් ලියන්න පටන් ගනිමු කියල ආරාධනා කළා. ඒ ව්‍යාපෘතිය එදා මම නම් කළා, අධ්‍යාපන අමාත්‍යාංශය නම් කළා, රටක් වටින පොතක් කියලා. ඒකට ප්‍රධාන හේතු දෙකක් තිබුණා. එකක් තමයි කොවිඩ් වසංගතයඑක්ක රටේ තිබිච්ච අනපේක්ෂිත තත්ත්වය හමුවේ වඩාත් අසරණ වෙලා හිටියේ පුංචි දූල පුතාල. පාසල් දරුවො. එන්නතක් පිළිබඳ සාකච්ඡාවක් තිබිච්ච යුගයක් නෙවෙයි විශ්වීය මාරයෙක් විධියට තමයි කොවිඩ් වසංගතය ලෝකය හඳුනා ගෙන තිබුණේ. ඇමරිකා එක්සත් ජනපදයට පවා විසඳුමක් නොතිබුණු වෙලාවක්. ලෝකයම හිතුවා මහ වසංගතයකින් දස ලක්ෂ ගණන්වලින් මිනිසුන් මිය යන ඛේදවාචකයක් වෙයි කියල.

පළවෙනි රෝගියා මුණ ගැසුනෙ 2020 මාර්තු 12 වෙනිදා කොළඔ ආනන්ද විද්‍යාලයේ දරුවෙකුගේ පියෙක්. 13 වෙනිද උදේ විශාල ප්‍රශ්නයක් මතු වුණා. මේ පියාගේ දරුවටත් කොවිඩ් වැළඳිලා කියල විශාල ගැටලුවක් පාසල් පද්ධතිය තුළ නිර්මාණය වුණා. එදිනම හවස 2 ට තීරණය කළා දරුවො ටික බේරගන්න ඉස්කෝල ටික වහන්න ඕනෙ කියල. පූර්ව සූදානමක් තිබුණෙ නැහැ. අපි හිතුවෙ අපි මැරෙන එක වළක්වන්න බැහැ. අඩු ගානෙ දරුවො ටික බේර ගන්න ඕනෙ කියල. සති දෙක තුනක් ගත වුණාට පස්සෙ තමයි මට තේරුණෙ ගෙවල් ඇතුලෙ දරුවො විශාල පීඩාවකට පත්වෙලා. ජනප්‍රිය වචනයෙන් කිව්වොත් ප්‍රාණ ඇපකාරයො බවට පත්වෙලා කියලා. මේ පීඩාකාරී සාධක මැද මම හිතුවෙ දරුවන්ගේ පීඩනය නිමා කරන්න දරුවන්ට ආරාධනාවක් කරන්න ඕනෙ පොතක් ලියන්න කියලා.

ඒක එක පැත්තක්. අනෙක ඒ වෙලාවෙ මේ රටේ තිබුණ පොදු සම්මතය. අපි වැඩිහිටියන් විධියට දරුවො දිහා බලපු විධිය රටේ පාලකයො විධියට, ගුරුවරු විධියට, අම්ම තාත්ත හැටියට, ජනමාධ්‍ය හැටියට දරුවන් පිළිබඳව තිබෙන පොදු මතය. ඒක ජනප්‍රිය මතයක්. මොකක්ද ඒ මතය, දැන් හැදෙන දරුවො කියවන්නෙ නැහැ. ලියන්නෙ නැහැ. ටී වී බලන එක විතරයි කරන්නෙ. කාටුන් ඇරෙන්න වෙන රස්සාවක් නැහැ. කොහෙද මේ අපි යන්නෙ. අපේ අනාගත පරම්පරාව කොතැනටද මේ ගමන් කරන්නෙ මැසිවිල්ලක් තිබුණා. හැබැයි තාත්ත කෙනෙක් විධියට මම දන්නවා දරුවො එහෙම නෙවෙයි කියල. මට පෞද්ගලිකව වුවමනාවක් තිබුණ ඒක එහෙම නෙවෙයිකියල රට හමුවෙ කියන්න.

විදුහල්පතිතුමියනි, ගතවුනේ මාස හතරයි.මේ රටේ පාසැල් පද්ධතියෙ දරුවො ලක්ෂ 43 ක් ඉන්නවා. පාසල් 10,162 ක් තියෙනවා. දරුවො ලක්ෂ 43 න් ලෙනසි වගේ දූල පුතාල 43,000 මේ වගේ පොත් ලියල අවසන් කළා. පුංචි
කථාන්දර පොත් වගේම නවකථා පොත්, කෙටි කතා පොත්, පරිවර්තන, නාට්‍ය පිටපත් සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම දරුවො 43,000 ක් කියන්නෙ ලක්ෂ 43 ක් වූ දරුවන්ගෙන් සිය දෙනෙක්ගෙන් එක්කෙනෙක්වත් පොතක් ලියල අවසන් කරල තියෙනවා. කී දෙනෙක් ලියන්න පටන් ගෙනඇත්ද? මගේ තක්සේරුව අනුව නම් 433,000 ක් වත් ලියන්න පටන් ගන්න ඇති. මේ රටේ අම්මලා, තාත්තලා දරුවන් පිළිබඳව තිබුණ පූර්ව නිගමනය මිථ්‍යාවක් කියල ලෙනසි ඇතුළු දරුවො ඔප්පු කළා. ඒ නිසා මේ අවස්ථාව අපි අවස්ථාවක් කර ගන්න ඕනෙ රටක් වටින පොතක් ලියපු මේ දරුවො අගය කරන්න. හැම දරුවෙකුටම හැකියාව තියෙනවා. දරුවන් විශ්වාස කිරීමේ පණිවිඩය දෙමව්පියන්ටත්, දරුවන්ගේ හැකියාව, දක්ෂතාවය කුමකටදැයි හඳුනා ගැනීමේ පණිවිඩය විදුහල්පතිවරු ඇතුළු ගුරුවරුන්ටත්, දරුවන්ට හොඳ අධ්‍යාපන ක්‍රමයක්, විභාග ක්‍රමයක් නිර්මාණය කර දීමේ වගකීම ආණ්ඩුවටත් පැවරෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පහ වසරේ ශිෂ්‍යත්ව විභාගය නිර්මාණය වී තිබෙන්නේ ලෝකයේ දරුවන්ගේ දක්ෂතාවය සොයා ගැනීමටයි. නමුත් ශ්‍රී ලංකාවේ අද ශිෂ්‍යත්ව විභාගය කටපාඩම් කරන විභාගයක් බවට පත් වී තිබෙනවා. කටපාඩම් කිරීම තුළින් දරුවො හෙම්බත් කරන්න, A සාමාර්ථ ලබාගත් දරුවන් පමණක් අගයන අධ්‍යාපන ක්‍රමයක් නොව අසමත්වෙලා සියදිවි හානි කර ගන්නා දරුවො ගැන සොයා බලන අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් මහා සංවාදයක් රටේ ඇතිවිය යුතු බ වත්, පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ වත්මන් නායකත්වය ඒ සදහා ක්‍රියාකරමින් සිටින බවයි.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, විදුහල්පති ඇතුළු දෙමාපියෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.