පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවත්, උසස් පෙළ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර, සිසුන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන කාලය අඩුකරන බවට සහතික වන බවත්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේ, සිය උපන් දිනය යෙදෙන 02 දින, හෝමාගම - ගොඩගම ළමා හා මාතෘ සායනය වෙත සහ ගොඩගම උතුර-දකුණ සිතමු කාන්තා ගොවි සංවිධානය වෙත උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවයට එක්වෙමිනි. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ  පාර්ලිමේන්තු මන්ත්‍රි යදාමිණි ගුණවර්ධන මහතාගේ විමධ්‍යගත අරමුදලින් මෙම උපකරණ පරිත්‍යාග කෙරිණි.

පා.ම. යදාමිණි ගුණවර්ධන මහතාද, එක්වූ මෙම උත්සවය, හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී විකුම් කිත්සිරි දේවප්‍රියද සොයිසා මහතා සංවිධාන කර තිබිණි. මෙම අවස්ථාවට, හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී කමල් චන්දන, හෝමාගම ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික කටුධම්ප, අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හරිත අලුත්ගේ යන මහත්තුරු මෙන්ම ප්‍රදේශවාසීහු රැසක් එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, අමාත්‍යවරයා කියා සිටියේ, රටේ සෑම නිවසකට ම යමින්, ජනතාවගේ නිරෝගීභාවය සහතික කරන, ක්‍රමයක් ඇතිකළ යුතු බවය. ඒ සඳහා උසස් අධ්‍යාපන ආයතනවලින් සහයෝගය ලබාදිය හැකි බවත්, වෛද්‍ය හා හෙද සේවයට සහය දීමට ස්වේච්ඡා සේවා ආරම්භ විය යුතු බවත් ඔහු පැවසීය.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.
" අහරින් ස්වයංපෝෂිත රටක් හදන්න, ජනාධිපතිතුමා ජාතියට ආරාධනය කර තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් හෝ අපට නිපදවා ගන්න පුළුවන් නම්, පිටරටින් ගෙන ඒම යම් පමණක හෝ අඩු කරගන්න පුළුවන්. මොකද ආහාර වේල සඳහා යමක් තම තමන් නිපදවා ගන්න, යොමුවිය යුතු කාලයක් මේක. ගෙවතු වගාව සඳහා මේ විදියට ගොවි සංවිධාන වෙත අපට හැකි ලෙස උපකාර කරන්නෙත් ඒ නිසයි "