කිරින්ද- පුහුල්වැල්ල, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව මාර්තු 04වෙනිදා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්  කිරින්ද- පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේ දී රැස්විණි.
මහජන නියෝජිතයින්ට රාජ්‍ය නිලධාරීන්ට තම ප්‍රදේශයේ ගැටළු පිළිබඳ සාකච්ඡා කළ හැකි ගෞරවනීය ස්ථානය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම බවත් මෙම කමිටුව තුළින් වඩාත් අවධානය යොමුවිය යුත්තේ ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් ඉස්මතු වන යෝජනා හා අදහස් බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
එහිදී ප්‍රාදේශීය සභා මන්ත්‍රී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂි පරීක්ෂණ නිලධාරී හා පවුල් සෞඛ්‍ය නිලධාරී යන නිලධාරීන්ගේ  සාමූහික කැපවීම සහභාගීත්වය ග්‍රාම සංවර්ධනයේ පදනම බවත් එහීදී ඔවුන්ගේ විධිමත් සේවය දැඩි ලෙස අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
මෙම අවස්ථාවට කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභා සභාපති සනත් හෙට්ටිආරච්චි, කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් ඒ.පී.ඩබ්.ටී. රාජපක්ෂ මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ .