මෙරට ජනගහනයෙන් බහුතරය නියෝජනය කරන්නේ කාන්තාවන් සේම වර්තමානයේ මෙරට ආර්ථිකයට වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ ද කාන්තාව බැවින් සංකේතාත්මකව නොව අර්ථාන්විතව කාන්තාව සිහිපත් කිරීම වැදගත් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙයි. මාර්තු 08 වෙනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
“ඇය මිහි මවට ජීවය ගෙන ආ මාතාවයි, බිරිඳයි, දියණියයි, සොයුරියයි, යෙහෙළියයි, ඇය පණ දුන් අපේ ලෝකයේ ඇයට හිමි තැන කුමක්විය යුතු ද ?දවස් තුන්සිය හැට පහක් ගෙවිලා නැවත අපි මාර්තු 08 වෙනිදාට ප්‍රවේශ වෙලා ඉන්නවා. අද ජාත්‍යන්තර කාන්තා දිනයයි. සංකේතාත්මක සැමරුමකට එහා ගිය අර්ථාන්විත සැමරුමක් වෙනුවෙන් මේ දිනය තුළ අධිෂ්ඨානයක් ඇති කරගැනීම වැදගත් කියල මම කියනවා. රටක් විදිහට ගත්තොත් අපේ රටේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට පහක් පමණ වනවා. ඒ කියන්නේ 225න් 13දෙනෙක් කාන්තාවන්. ඒ වගේම ලෝක ජනගහනයෙන් 49.5% ක් කාන්තාවන්. අපේ රටේ ජනගහනයෙන් 51% කට වඩා වැඩියෙන් ඉන්නෙ කාන්තාවන්. ඇඟලුම් ක්ෂේත්රය, අපනයන ක්ෂේත්රය, තේ කර්මාන්තය, විදෙස් ශ්‍රමය වැනි අපේ රටේ ආර්ථිකයට වැඩිම දායකත්වය දෙන්නෙත් ඉදිරියෙන්ම ඉන්නෙත් කාන්තාවන්. රට ජයග්‍රහණය කර තිබෙන අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි දර්ශක අතරෙත් ඉදිරියෙන් ඉන්නෙ කාන්තාවන්. ස්ත්‍රී පුරුෂ වර්ගීකරණයේ සිට සංස්කෘතික, ආගමික, සමාජීය, දේශපාලනික ආර්ථික ආදී සාධක මත පක්ෂාග්‍රාහී නොවන සමාජ පසුබිමක් නිදහස් අවකාශයක් මානව පරිසරයක් ලෝක කාන්තා ප්‍රජාව වෙනුවෙන් නිරීමාණය කිරීම අප සැමගේ පරම යුතුකම හා වගකීමයි.
ප්‍රායෝගිකව කාන්තාව අපේ සමාජයේ දෙවැනි පන්තියේ, තුන්වෙනි පන්තියේ පුරවැසියන් නොකිරීමට වගේම සමාන අයිතිවාසිකම් සහිතව ජීවත්වීමට ඇයට ඉඩ ලබා දීමට අපි කටයුතු කරමු යැයි මම යෝජනා කරන්න කැමතියි. “
මෙම අවස්ථාවට රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායක, අතිරේක ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ යන මහත්වරුන් ද එක්ව සිටියහ.