නූතන තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ උසස් මාධ්‍ය කලාවක් මෙන්ම ගෞරවනීය මාධ්‍යවේදීන් බිහිකිරීමේ අරමුණින් ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රථම වරලත් වෘත්තීය ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීම සඳහා සකස් කළ මූලික පනත් කෙටුම්පත ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත පිළිගැන්වීම මාර්තු 09 වෙනිදා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

වෘත්තීය නිපුණත්වයෙන් හෙබි මාධ්‍යවේදීන් බිහිකිරීම කිරීම සඳහා මෙතෙක් අඩුවක්ව පැවති ප්‍රමිතිගත ආයතනයක අවශ්‍යතාව මෙම ආයතනය ආරම්භ කිරීමෙන් සම්පූර්ණ වන අතර ඒ වෙනුවෙන් ඉතා කෙටි කාලයක් තුළ මෙම කෙටුම්පත සකස් කිරීම පිළිබඳව අමාත්‍යවරයා විසින්  කමිටු සාමාජිකයින් වෙත සිය කෘතඥතාවය පළ අතර කඩිනමින් මෙම ආයතනය පිහිටුවීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව මෙම ආයතනය ආරම්භ කිරීමෙන් පසු ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට විශ්වවිද්‍යාලයක මාධ්‍ය පාඨමාලාවකට එහා ගිය ප්‍රායෝගිකත්වයෙන් පූර්ණ වූ උපාධි පාඨමාලා, උසස් ඩිප්ලෝමා පාඨමාලා ඇතුළු පාඨමාලා ගණනාවක් මෙම ආයතනයෙන් හැදෑරීමේ අවකාශය හිමි වෙනු ඇති.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ යන මහත්වරු ඇතුළු සෙසු කමිටු සාමාජිකයින් ද සහභාගී වූහ.