කැලණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් මෙගාවොට් 105ක තාප බලාගාරයක් ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නා බව විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

කොළඹ අවට ස්ථාපිත කොට ඇති විදුලිබලාගාරවල  වර්තමාන තත්ත්වය නිරීක්ෂණය  කිරීමේ   චාරිකාවකට ( 14 දින) එක් වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

මෙම නිරීක්ෂණ චාරිකාවේදී කැළණිතිස්ස, සුජිට්සු, ඒශියා පවර්, සපුගස්කන්ද සහ කොළඹ වරායේ ස්ථාපිතකොට ඇති බාජ් විදුලි බලාගාරවල සහ බත්තරමුල්ල පිහිටි පද්ධති පාලන ඒකකයේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කළ අතර එම බලාගාරයන්ගේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් බලපා ඇති ගැටලු මෙන්ම කාර්ය මණ්ඩල මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී අමාත්‍යවරියගේ විශේෂ අවධානය යොමුවිය.

නිවාස පියසි යොදාගනිමින් සූර්ය විදුලිබල උත්පාදනය විධිමත් කිරීම සදහා ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවීමට අදහස් කර ඇති අතරම ජාතික විදුලිබල පද්ධතියට දායක වියහැකි බලාගාර කිසිවක් මෑත භාගයේ ස්ථාපිත නොවීම හේතුවෙන් මේ වනවිට බලපා ඇති විදුලි අර්බුදය මගහරවා ගැනීම වෙනුවෙන් කඩිනමින් පියවර ගන්නා බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය,

රජයක් වශයෙන් අපේ ප්‍රධානතම වගකීම තමයි, විදුලි පාරිභෝගික ජනතාවට අඛණ්ඩ, ගුණාත්මක මෙන්ම ලාභදායි විදුලි පහසුකමක් සැපයීම. නමුත් එන්න එන්නම විදුලිබල ඉල්ලුම වැඩිවෙමින් පවතිනවා. මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න අපි කඩිනමින් ක්‍රියාත්මක වියයුතුයි. 2015 වසරේ මම විදුලිබල අමාත්‍ය ධූරයෙන් ඉවත්වන විට විදුලිබල මණ්ඩලය බිලියන 15ක ලාභ ලබන ආයතනයක් බවට පත්කරලා, සමස්ත දිවයින ආවරණය වන පරිද්දෙන් 98% කට විදුලිබලය ලබාදීල, විදුලි බිලත් 25% කින් අඩු කරලයි තිබුනේ. නමුත් අද වනවිට මෙම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා. විදුලිබල මණ්ඩලය විශාල ණය බරක් සහිත ආයතනක් බවට පත්වෙලා. පසුගිය වකවානුව තුළ එකම බලාගාරයක් බවත් නොහදපු නිසා, විදුලි උත්පාදනය වෙනුවෙන් අධික ඉන්ධන ප්‍රමාණයක් වැය කරන්න සිදුවෙලා. මෙම තත්ත්වයෙන් හැකිතාක් ඉක්මණින් රට ගොඩගත යුතුයි. අවම වශයෙන් මේ වසරේ මෙගාවොට් 1000ක් වත් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට කඩිනමින් පියවර ගත යුතු බව පැවසුවාය.

මෙම නිරීක්ෂණ චාරිකාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රොහාන්ත අබේසේකර, සබරගමුව පළාත්සභා සභාපති කංචන ජයරත්න යන මහත්වරුන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය