රට මුහුණපා සිටින වත්මන් අර්බුදය පිලිබදව සියලු දෙනාගේ එකගත්වයෙන් කිසියම් යහපත් ප්‍රවේශයකට පැමිණිය හැකිනම්, එය පීඩාවට පත් රටේ අහිංසක ජනතාවට සහණයක් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. නුදුරේදී පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව පිළිබදව,  අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනියක නැගූ පැනයකට පිළිතුරු වශයෙන් ඇමතිවරයා මේ බව කියා සිටියේය.
 
ජාතික එකගතාවයක් ඇතිකරගැනීමට ජාතික මට්ටමේ සාකච්ජාවක් අවශ්‍ය බව පෙන්වා දුන් ඇමතිවරයා එය ජාතික මට්ටමින් දේශපාලනඥයන් අතර මෙන්ම බුද්ධිමතුන් අතරද සිදුවිය යුතු බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා......
 
"මේක ප්‍රමාද වූ ප්‍රවේශයක්. ඇත්තටම මීට මාස කිහිපයකට පෙර මෙවැනි සාමූහික ප්‍රයත්නයක් කරන්න තිබුණානම් හොදයි. මට මතකයි යුද්ධයේ ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවේ මහින්ද රාජපක්ෂ  ජනාධිපතිතුමා එවකට විපක්ෂයේ සිටි සියළුම නියෝජිතයෝ එකට මේසයකට ඉදගෙන ඔවුන්ගේ අදහස් විමසීමක් කළා. ඒක හොද පූර්වාදර්ශයක්. පාර්ලිමේන්තුවේ අද ඉන්න 225 දෙනා ව්තරක් නෙවෙයි, මෑත ඉතිහාසයේ සියළුම දේශපාලනඥයන් මේ අර්බුදයේ කොටස්කරුවන්. මම දැක්කා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා තිබුණා ජාතික එකගතාවයක් ඇතිකරගන්න ඕනේ අවස්ථාවක් කියලා. ජාතික එකගතාවයක් ඇතිකරගැනීමට ජාතික මට්ටමේ සාකච්ජාවක් අවශ්‍යයයි. ජාතික මට්ටමෙන් දේශපාලනඥයන් කතා කරන්නට ඕනේ. ජාතික මට්ටමින් බුද්ධිමතුන් කතා කරන්නට ඕනේ. ඒ නිසා මම සහෝදරාත්මකව ඔබෙන් ඉල්ලා සිටිනවා මේ දිහා සුබවාදීව බලන්න කියලා. සියලු දෙනාගේ එකගත්වයෙන් කිසියම් යහපත් ප්‍රවේශයකට එන්න පුළුවන් වුනොත්, එය පීඩාවට පත් රටේ අහිංසක ජනතාවට සහණයක්. ඒ නිසා ඒ පිළිබදව සුබවාදීව බලමු. අසුබවාදීව බැලීමෙන් වළකිමු. ඒ සාකච්ජාවෙන් පසුව ඔබට පුළුවන් ඒ පිළිබද ඔබේ මිණුම් දඩු රට ඉස්සරහා තියන්න. අසාර්ථක නම් ඒවා විවේචනය කරන්න". 
 
මාධ්‍ය හමුව ආරම්භයේදී අදහස් දැක්වූ ඇමතිවරයා බෙහෙවින් දැඩි පීඩාකාරී තත්වයන් යටතේ 5  වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණදුන් දැයේ දූපුතුනට තම ශුභාෂිංසන පිරිනැමීමට ද අමතක නොකළේය.
 
"ඉතාම දුෂ්කර අභ්‍යාසයක් තුළ අපේ රටේ දුවලා පුතාලා 5 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා. ඔවුන්ගේ විභාග ප්‍රතිපල ඊයේ දිනයේ නිකුත් වුනා. 5 වසරේ ශිෂ්‍යත්ව විභාගය ආරම්භවූ දා පටන් එදා මෙදාතුර පවත්වපු දුෂ්කරම සහ අභියෝගාත්මකම කාලසීමාව තුළ තමයි අපේ දුවල පුතාලා මෙවර විභාගයට පෙනී සිටියේ. සමත් අසමත් ලෙස දරුවන් බෙදන්නේ නැතිව ඊට මුහුණ දුන් දූලා පුතාලා සියළු දෙනාවම අපි අගයන්නට ඕනේ. විශේෂයෙන්ම අපි සුබ පතනවා යාපනයේ තමිල්සෙල්වම් ගජලක්ෂ්මන් පුතනුවන්ට. ඔහු තමයි මෙවර ඉහළම ලකුණු ලබගෙන තියෙන්නේ. ඒ පුංචි පුතා ප්‍රමුඛ සියළුම දූපුතුන්ට අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම දෙමවුපියන්ගෙන් ඉල්ලීමක් කරනවා දරුවා සමත් අසමත් කියලා දරුවන්ගේ මනස විකෘති  වන ආකාරයට කටයුතු කරන්න එපා කියලා. මාධ්‍ය වෙතිනුත් සමත් දරුවන් අසමත් දරුවන් කියලා විභේදනයක් ඇති කරන්න එපා කියන ඉල්ලීමත් මම ආරම්භයේදීම කරන්න කැමතියි".
 
මේ අවස්ථාවට සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ සහ ප්‍රවාහන අමාත්‍ය  දිලුම් අමුණුගම යන මහත්වරුන්ද මේ අවස්ථාවට එක්වූහ.