හරිත කෘෂි කර්මාන්තයක් සදහා රජය ගෙන යන වැඩපිළිවෙල ජයගත හැකි බව දිසාලේකම්වරු පෙන්වා දෙති. මහ කන්නයේදී කාබනික පොහොර නිවැරදිව භාවිත කළ ගොවිහු ඉහළ අස්වැන්නක් ලැබීමට සමත්වුහ. ඒ සදහා යොමු නොවු ගොවීන්ද දැනුවත් කර සිදුවු අඩුපාඩු මග හරවා ගැනීමෙන් අපේක්ෂීත ඉලක්කය කරා ලගාවිය හැකි බව ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී දිසාලේකම්වරු පෙන්වා දුන්හ. යල කන්නය සදහා කාබනික පොහොර බෙදා හැරීමට ඇති සුදානම පිළිබඳව එම සාකච්ඡාව පැවැත්විණි.

මහ කන්නයේ ලද අත්දැකීම් පාදක කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදකයන් 48 දෙනෙකු හදුනාගෙන පොහොර බෙදා හැරීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා එහිදී පැවසිය. අනාගත පරපුරට වස විසෙන් තොර ආහාර වේලක් සැපයීම අරමුණු කර හරිත කෘෂිකර්මාන්ත වැඩසටහන ආරම්භ කෙරිණ.

රසායනික පොහොර හා වල් නාශකවලට හුරුවු ගොවීන් කාබනික වගාවට යොමු කිරීම සැබැවින්ම අභියෝගයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා එහිදී පැවසීය. එහෙත් සියලු මට්ටමේ නිලධාරීන් දැඩි උන්නදුවකින් විශ්වාසයකින් හා කැපවීමෙන් කටයුතු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත් කරගත හැකිය. ගොවිීන් නිසිලෙස දැනුවත් කළයුතු වන අතර නිසිකලට ප්‍රමිතියෙන් යුත් පොහොර ඔවුන්ට සැපයිය යුතුය. පැවැති ඇතැම් ආණ්ඩුවලට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විශ්වාසයක් නොතිබුණ බව පැවසු ජනාධිපතිතුමා පාරම්පරික කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාව ඉන් ස්වයංපෝෂිත කර ගොවියා ශක්තිමත් කිරීම තම අපේක්ෂාව බව අවධාරණය කළේය.

කාබනික පොහොර නිෂ්පාදනයට සම්බන්ධ වී සිටින සියලු නිෂ්පාදන ආයතන දිර්ඝ කාලයක පර්යේෂණ සිදුකර වගා කටයුතු සදහා යොමුවී සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබේ. ඔවුන්ගේ දැනුම හා ඉහළ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන ගොවි ජනතාව අතට පත් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගතහැකි බවට ජනාධිපතිතුමා විශ්වාසය පල කළේය.

සතියකට දෙවතාවක් දිසාලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොහොර කමිටුව රැස්වන බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදී පැවසීය. දිස්ත්‍රික්ක රැසක ගොවීහු මහකන්නයේදී කාබනික පොහොර යෙදීමන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත් බව පොහොර නිෂ්පාදන ආයතනවල පර්යේෂකයෝ පෙන්වා දුන්හ.