(කිරින්ද පුහුල්වැල්ල සමෘද්ධි බැංකු සංගම් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අරඹමින් )

පවතින ආර්ථික අර්බුද හමුවේ වැඩිම ශක්තියක් අවශ්‍ය වන්නේ සමෘද්ධි ප්‍රතිලාභී ජනතාවට බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වාදෙයි. මෙරට සමස්ත සමෘද්ධි ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 18 කට ආසන්න බවත් එම සංඛ්‍යාව අවම කිරීම සඳහා සමෘද්ධි ව්‍යාපාරය මඟින් විවිධ ව්‍යාපෘති රාශියක් දියත් කර ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා එහි එක් අදියරක් ලෙස සමෘද්ධි බැංකු පිහිටුවීම හදුන්වාදිය හැකි බව ද සඳහන් කළේය.
මාර්තු 18 වෙනිදා කිරින්ද පුහුල්වැල්ල සමෘද්ධි බැංකු සංගම් ගොඩනැගිල්ලේ ඉදිකිරීම කටයුතු ආරම්භ කරමින් මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ග්‍රාමීය ආර්ථිකය මෙන්ම එම ප්‍රජාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඉදිකෙරෙන මෙම ගොඩනැගිල්ල සදහා වැයවන මුදල රුපියල් ලක්ෂ 104 කි.
මූලික සනීපාරක්ෂක පහසුකම් නොමැති පවුල් හඳුනාගෙන එම පවුල් සඳහා සහන සැලසීම වෙනුවෙන් සමෘද්ධි අධිකාරියෙන් කළ ඉල්ලීම මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද සිය කෘතවේදීත්වය පිරි නමන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
මෙම සමෘද්ධි බැංකුව ඉදිකිරීමෙන් අනතුරුව එය කේන්ද්‍රස්ථානය බවට පත්කර ගනිමින් සමෘද්ධි පවුල් බල ගැන්වීම වෙනුවෙන් සියලුදෙනාගේ සහයෝගය ඇතිව වෘත්තීය පුහුණුව ඇති කිරීම සඳහා ක්‍රමවත් මෙන්ම ශක්තිමත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අඩිතාලමක් සකස්කර ගැනීමේ ඇති වැදගත්කම ද පෙන්වා දුන් අමාත්‍යවරයා එහි අවසන් ඉලක්කය කිරින්ද පුහුල්වැල්ල සංවර්ධිත කලාපයක් බවට පත් කරලීමේ සිහිනය යථාර්ථයක් වනු දැකීම බව ද වැඩි දුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය ද හිටපු පළාත් සභා මන්ත්‍රී චන්දන සිරිබද්දන, කිරින්ද ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් හෙට්ටිආරච්චි,අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ. වැල්ලගේ, කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් ඒ.ජී.ඩබ්.ටී.රාජපක්ෂ, කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කුසලක නානායක්කාර, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ එන්.ජී.ජේ. රෝහිත යන මහත්ම මහත්මීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රදේශ වාසීන් සහභාගී වූහ.