ඉන්දුනීසියාව හා ශ්‍රී ලංකාව  අතර ජනමාධ්‍ය  ක්ෂේත්‍රයට  අදාල සබඳතා ඉහත තලයකට ඔසවා තැබීමට දෙරටේ  ජනමාධ්‍ය ඇමැතිවරු  එකඟ වෙති. මෙරට මාධ්‍යකරුවන්ට  හා මාධ්‍යවේදය හදාරන සරසවි සිසුන්ට ශිෂ්‍යත්ව ක්‍රමයක් හදුන්වාදීමටද  ඒ යටතේ පියවර  ගැනේ.

ඉන්දුනීසියාවේ චාරිකාවක නිරත ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එරට තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ජොනී  ජී.  ප්ලේට්  මහතා  ඇතුළු එරට  මාධ්‍ය  ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නිලධාරීන් සමඟ සාකච්ජා පැවැත්විය. දෙරටෙහි  ජනමාධ්‍ය ක්ෂ්ත්‍රයට අදාල ඵලදායි එකඟතාවයන්  ගණනාවක් ඇතිකර ගැනීමට  එහිදී  හැකිවිය .

වසර 49 කට පෙර  පිහිටුවා ගත්  ශ්‍රී ලංකා පුවත් පත් මණ්ඩලය සහ ඉන්දුනීසියානු පුවත්පත්  කොමිසම  අතර නව ප්‍රතිසංස්කරණ සඳහා වූ  අවබෝධතා ගිවිසුමක්  ඇතිකර ගැනීම  කෙරෙහිද  සාකච්ජා  වලදී අවධානය  යොමු විය. දුස්තොරතුරු සහ  සාවද්‍ය තොරතුරු, ප්‍රකාශනයේ නිදහසට බාධාවක්  හෝ  අගතියක්  නොවන  ආකාරයට කළමනාකරණය  කිරීම මෙන්ම  පාඨකයාගේ  සහ ග්‍රාහකයාගේ  පෞද්ගලික  නිදහසට  බාධාවක් නොවන ආකාරයට සුරක්ෂිත  කර ගැනීමෙහි ලා ඉන්දුනීසියාවේ  අත්දැකීම්  හුවමාරු කරගැනීමටද  එහිදී  හැකිවූ බව ජනමාධ්‍ය අමාත්‍ය  ඩලස් අලහප්පෙරුම  මහතා  පවසයි.

"විශ්වාසය හා  සහෝදරත්වය පිරුනු  එම සාකච්ජා  තුළින්  රටක් ලෙස  අප වැදගත් ජයග්‍රහණ රැසක්  අත්කරගත් බව මාගේ විශ්වාසයයි.  ලොව සීග්‍රයෙන් වර්ධනය වන ආර්ථිකයක්  මෙන්ම  ඉහල ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින  බලගතු   රාජ්‍යයක් ලෙස  ඉදිරියට පැමිණෙන  ඉන්දුනීසියවේ රජයට  හා ජනතාවට   අපගේ හෘදයාංගම  සුභ පැතුම්  පිරිනමමින්  එම සාකච්ජා නිමකලෙමි.  ශ්‍රී ලාංකිය මානයෙන්  ඉතා ළුලදායි  එකඟතාවයන්  රැසක්  එහිදී  ඇතිකර ගැනීමට හැකිවිය.ˮ ජනමාධ්‍ය අමාත්‍ය  ඩලස් අලහප්පෙරුම  මහතා පවසයි.

මිලියන 278  ක ජනගහනයෙන් යුතු  දූපත් 17000 ක් පුරා  විහිදුනු ඉන්දුනීසියාව තුළ  මුද්‍රිත විද්‍යුත්  හා නව මාධ්‍ය ආයතන  40000 ක්  මාධ්‍යකරණයේ  නියලෙයි.   ඉන්දුනීසියානු  අත්දැකීම්  අධ්‍යයනය  කිරීම සඳහා                             ශ්‍රී ලාංකීය  නියෝජිතයන්  පිරිසක්  එම රටට පිටත් කර හැරී මටද අමත්‍යවරයා  අපේක්ෂා කරයි.