2019 වර්ෂයේ උතුම් පාස්කු සැමරුම් දිනයේදී රටේ නිරායුධ සිවිල් වැසියන් ඉලක්ක කර ගෙන සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරයට අද දිනයට වසර තුනකි. ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා දමා තිබූ එකල රජයේ නොසැලකිල්ල මත එදා නිකරුණේ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වූයේ අහිංසක කිතුනු ජනතාවට ය.

 
මේ වන විට අපගේ රජය පත් වී වසර තුනකට ආසන්න ව තිබුණ ද මිනිසුන් 269 දෙනෙක් ජීවිතක්ෂයට පත් කරමින්, 400කට අධික පිරිසක් තුවාලකරුවන් බවට පත් කරමින් සිදු වූ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට තවමත් යුක්තිය ඉටු වී නැතැයි නැඟෙන චෝදනා බොහෝ ය. 
 
එහෙත් ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ඇති යුගයක මෙවන් සංවිධානාත්මක ප්‍රහාරයක් සිදු වීම සුළුපටු කාරණාවක් නො වේ. මේ වන විට විවිධ සාක්ෂි ඔස්සේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට පත් ව ඇති අතර ඔවුන්ගෙන් ලබා ගත් ප්‍රකාශ ඔස්සේ ද පරීක්ෂණ ක්‍රියාත්මක බව අවධාරණය කරමි. 
 
සැකකරුවන්ට දඬුවම් ලබා දිය හැක්කේ සාක්ෂි, සාධක විමසා බලා අධිකරණයකදී වරදකරුවන් වූ පසුව ය. එබැවින් මේ දක්වා ම විවිධ සාක්ෂි මත පදනම් ව සිදු කළ පරීක්ෂණවලින් පසු ඔබ සැම දෑස් දල්වා බලා සිටින යුක්තිය නුදුරේදී ම ඉටු කරන බව ද ඒ සඳහා මා බැඳී සිටින බවට ද අද දිනයේ ප්‍රකාශ කර සිටිමි.