සමස්ත පුරවැසියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන ආදරණීය වැඩකනර ජනතාවට මාගේ හෘදයාංගම ශුභාශිංසන පිරිනමමි.

වසර දෙකකට අධික කාලයක් ලෝක වසංගත තත්ත්වය හමුවේ විවිධ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දුන් ඔබ, රට හමුවේ පවතින මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් ද පීඩාවට පත්ව ඇති බව නොරහසකි.

අනපේක්ෂිතව මුහුණ පෑමට සිදු වූ මෙම ආර්ථික අර්බුදය හමුවේ වුව ද දැඩි කැපවීමකින් හා සංයමයකින් යුතුව කටයුතු කිරීමෙන් ඔබ රටට ලබා දෙන ආදර්ශය සුළුපටු නොවේ.

කම්කරු සටන් වෙනුවෙන් ඔබ සමඟ පෙරට ආ මම, වගකීම් ලද සෑම විට ම ඔබගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් කිසි විටෙක පැහැර නොහැරියෙමි.

එසේ වුවද රට හමුවේ උද්ගතව ඇති මෙම ආර්ථික අර්බුදය ජය ගැනීමට නම් පළමුව අප සියලු දෙනා එක්ව අත්වැල් බැඳගත යුතුය.

ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට රජය දැනට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර දේශීය මට්ටමෙන් මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ද ඒ සඳහා අවශ්‍ය සහය ලබාගනිමින් සිටියි.

මේ සියලු ප්‍රයත්නයන්ගේ අවසන් ඉලක්කය සුබවාදී රටක් නිර්මාණය කිරීමයි. ඒ වෙනුවෙන් වැඩකරන ජනතාව කරනු ලබන අසීමිත කැපකිරීම ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන අද දිනයේ දී ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි