ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීම නිල වශයෙන් ආරම්භ කිරීම පෙරේදා (21) කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුවිය.
ජනාධිපති අරමුදලේ සියලු සේවා කටයුතු බිම් මට්ටම දක්වා විමධ්‍යගත කිරීම සඳහා වන විශේෂ පුහුණු වැඩමුළු මාලාවේ උතුරු පළාත් වැඩමුළුව ද මීට සමගාමීව දිනය පුරා කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය මඟින් ගන්නා ලද තීරණයක ප්‍රතිඵලයක් ලෙස ජනතාවට මෙම පහසුකම හිමි වන අතර වැඩි පිරිසකට ප්රතිලාභ දීම මෙන්ම කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙයින් අපේක්ෂා කෙරේ. එමෙන්ම, ජනාධිපති අරමුදල අවභාවිත වීමට ඇති ඉඩකඩද මෙමඟින් සීමා වේ.
රජයේ ඩිජිටල්කරණ සැලසුමෙහි අංගයක් ලෙස ජනාධිපති අරමුදලේ සියලු සේවා මාර්ගගත ක්‍රමයෙන් සැපයීමේ පරිගණක වැඩසටහන එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.
ජනාධිපති අරමුදලින් මහජනතාවට වෛද්‍යාධාර දීමේ සේවාවෙහි අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සිදු කිරීම පසුගිය පෙබරවාරි 07 වැනිදා සිට ඇරඹිණි. මෙම වැඩසටහන ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ සෙසු සේවා ද විමධ්‍යගත කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට දෙන සහනාධාර, වනඅලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් දෙන සහන දීමනාව, ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ අය ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා දෙන සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන සියලු සේවා සඳහා මාර්ගගත ප්‍රවේශය මහජනතාවට ලැබේ. එනම්, වසර 47ක කාලයක් කොළඹට සීමා වී පැවති ජනාධිපති අරමුදලේ සියලු සේවා ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මඟින් අයදුම් කිරීමට ප්රතිලාභ අවැසි ජනතාවට අවස්ථාව උදා වී ඇත.
ජනාධිපති අරමුදලේ කාර්යභාරය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා විසින් මෙහි පැමිණ සිටි පිරිස දැනුම්වත් කරන ලදි.