‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කළේ 2023 වසරේදීයි. දැන් එය අවසන් අදියරට ඇවිත්. මාස 03ක් තුළ එය හදා අවසන් කරනවා’යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙරේදා (21) ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බැව් ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය මාධ්‍ය ඒකකය එක්ව කළුතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් වෙනුවෙන් සංවිධානය කරන ලද ‘ඇසි දිසි මෙහෙවර’ මාධ්‍යවේදී අභිප්‍රේරණ වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.
“මට ජනමාධ්‍ය ගැන උනන්දුවක් ඇතිවූයේ කළුතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් කරන මෙහෙය දැක්ක නිසා. ඒවගේම වැය කරන පිරිවැයට සරිලන ගෙවීමක් නොලැබ ඔවුන් කැපකිරීමෙන් කරන සමාජ සේවය දුටු නිසා. මගේම කියා සහෝදරයෙක් නැති මට කළුතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් මගේම සහෝදරයන් වුණා. ජනමාධ්‍යවේදීන් සඳහා වරලත් ආයතනයක් ආරම්භ කිරීමට අවශ්‍යයි. ආරම්භයේදී අප ඊට තල්ලුවක් ලබා දෙනවා. ප්‍රාදේශීය වශයෙන් මාධ්‍යවේදීන් සඳහා ශිෂ්‍යත්ව මෙන්ම දේශීය හා විදේශීය පුහුණුව ද ලබාදීමට බලාපොරොත්තු වෙනවා.”
මෙහිදී කතා කළ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා මහතා මෙසේ කීය.
“ආර්ථික පැත්තෙන් සේවා තෘප්තියක් නොවුණත් සමාජ මෙහෙවරක් ඉටු කරනවාය කියන හැඟීමෙන් මාධ්‍යවේදීන් වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා. ඒ කාර්යය කරන්න වෙන කවුරුවත් නැහැ. අද සමාජය කඩා වැටිලා. අප ආචාර ධර්මවලට එකඟවූ තරමට සමාජයෙන් ගෞරවය ලැබෙනවා. අපේ වාර්තා කිරීම තුළින් යම් සමාජ කැලඹීමක් ඇතිවේද යන්න අපේ හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුතු වෙනවා.”
ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා මහතා අදහස් දක්වමින් මෙසේ කීය.
“දීර්ඝ කාලයකට පසුව රාජ්‍ය මාධ්‍යයට යම් නිදහසක් ලැබී තිබෙනවා. ප්‍රවෘත්තියක් දාන්නත් නොදාන්නත් කප්පම් දුන් කාලය අවසන් කළ යුතුයි. ප්‍රාදේශීය මාධ්‍යවේදියා සතු බලය හා වගකීම වටහාගත යුතුයි. ඒ බලය කේවල් කිරීමට හැකියාව තිබෙනවා. ඒ අනුව මාධ්‍යයේ යම් ගුණාත්මක හැරවුමකට අවස්ථාව ලැබී තිබෙනවා. ප්රජාතන්ත්රවාදයේ මුර බල්ලාගේ පටිය දැන් බෙල්ලෙන් ගලවා තිබෙනවා. අද තරුණ පරපුර මේ වෘත්තියට ඇතුළු වන්නේ නැහැ. ඔවුන් තාක්ෂණය අතින් ඉදිරියෙන්. මේ දෙක එකතු නොකළොත් ඉදිරියට යන්න බැහැ.”
මෙම වැඩමුළුව අමතා කළුතර දිස්ත්‍රික් ලේකම් ජනක කේ. ගුණවර්ධන, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර යන මහත්වරුද අදහස් දැක්වූහ.