ශ්‍රී ලාංකේ මාධ්‍ය සංස්කෘතිය දියුණු ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් බවට පරිවර්තනය කිරීම සඳහා මාධ්‍ය සාක්ෂරතාව උපයෝගී කර පාසල් දරුවන් අතර මානව දයාව රෝපණය කිරීමේ අරමුණින්  අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙහෙයවන පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන යටතේ  උපදේශනාත්මක සන්නිවේදන මාධ්‍ය සාක්ෂරතා වැඩසටහනක් ආරම්භ කර තිබේ.

"මානව දයාවෙන් පරිපූර්ණ පාසල් සිසු ප්‍රජාවක්" තේමා කරගෙන වර්තමානයේ පාසල් පද්ධතියේ මතුවී ඇති සමාජ ගැටලු හඳුනාගෙන, ඊට අධ්‍යාපන මනෝ විද්‍යාත්මක හා උපදේශනාත්මක සන්නිවේදන ප්‍රවේශය යටතේ සිසුන් දැනුවත් කිරීම මෙහි අරමුණ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට පාසල් පද්ධතිය තුළ මතු වී තිබෙන සිසුන්ගේ මානසික පීඩනය, මානසික සංකූලතාවය, ආතතිය, හුදකලාව හා ගුරු-ශිෂ්‍ය සබඳතාව දුරස්වීම, දෙමව්පිය දරුවන් අතර සමීපතාවය බිඳ වැටීම, තාක්ෂණික බලපෑම, අපේක්ෂා භංගත්වය, ලිංගික ගැටලු, ළමා අපයෝජන, දඬුවම්, මත්ද්‍රව්‍ය භාවිතය හා වෙනත් මානසික ගැටලු, පාසල් පද්ධතිය තුළ  දියුණු මනෝ විද්‍යාත්මක හා සන්නිවේදන කුසලතා තුළ කළමනාකරණය කර සමබර මානසික ක්‍රියාවලියක් තුළ පෝෂණය වූ සබුද්ධික පාසල් දරුවන්  බවට පත් කිරීමට  පාසල් මාධ්‍ය සමාජ හරහා පුළුල් උපදේශනාත්මක සන්නිවේදන වැඩසටහනක් දියත් කිරීම මෙම නව වැඩපිළිවෙල යටතේ සිදු කෙරේ.

මෙම අරමුණ යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙහෙයවන පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන යටතේ ආරම්භ කළ නියමු ව්‍යාපෘතිය පසුගිය දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත් වූ අතර, ඊට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම  නියෝජනය වන පරිදි  මාධ්‍ය සමාජ ක්‍රියාකාරීන් තුන්සිය දෙනෙකු හා පාසල් මාධ්‍ය සමාජ භාර ගුරු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වුණි.

සාර්ථක ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රියාවලියක් අපේක්ෂාවෙන් අධ්‍යාපන විෂය සමගාමී වැඩසටහන් පුළුල් කරමින් සිසුන්  මුහුණ දෙන මානසික ගැටලු, කලාව, සෞන්දර්ය ක්‍රීඩාව හා වෙනත් විෂය භාහිර ක්‍රියාවලියක් තුළ සාර්ථකව කළමනාකරණය කරමින් සිසුන්ගේ නිර්මාණාත්මක දක්ෂතා කුසලතා හඳුනාගෙන ඒ සඳහා නායකත්ව හා සන්නිවේදන කුසලතා සඳහා ජාතික වේදිකාවක් නිර්මාණය කිරීම ද මෙම වැඩසටහනේ තවත් අරමුණක් වී තිබේ.  

ජනාධිපති ලේකම් කාර්යාලයේ ද උපදෙස් අනුව පැවැත්වුණු මෙම ජාතික වැඩසටහනේ සන්නිවේදන කුසලතා හා නායකත්ව වැඩසටහන ජනාධිපති මාධ්‍ය උපදේශක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා විසින් මෙහෙය  වූ  අතර, මනෝවිද්‍යා දේශන වැඩසටහන ජාතික ළමාරක්ෂණ අධිකාරිය, කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, වෛද්‍ය අධ්‍යාපන අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන සිදු කරනු ලැබිණි.

පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සමාරම්භක නියමු වැඩසටහනේ දී ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියේ දැනට සක්‍රීයව ක්‍රියාත්මක වන පාසල් මාධ්‍ය සමාජ 300කට ආසන්න ප්‍රමාණයක උතුරු නැගෙනහිර පළාත ඇතුළුව සම්බන්ධ වූ අතර මෙහිදී පාසලේ මානව ධර්මතා ප්‍රචලිත කිරීම, මානව ධර්මතා ව්‍යාප්ත කිරීම සහ පාසල් ප්‍රජාවේ සෑම දරුවෙක්ම මෙම වැඩසටහනට සම්බන්ධ කර ගැනීම පාසල් මාධ්‍ය සමාජ හරහා සිදු කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  පවසයි.

මානව ධර්මතා සම්ප්‍රේෂණය සඳුන් ගසක් සංකේතවත් කරමින් සෑම පාසල් මාධ්‍ය සමාජයකම සඳුන් පැළ රෝපණ ව්‍යාපෘතියක් ද මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

සමාරම්භක නියමු වැඩසටහනට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ බණ්ඩාර එක් වූ අතර, ජනාධිපති මාධ්‍ය උපදේශක ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා මෙහිදී, සන්නිවේදන හා නායකත්ව පුහුණු වැඩසටහන් මෙහෙය විය.

කැලණිය විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ, වෛද්‍ය අධ්‍යාපන අංශයේ අංශ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පවිත්‍රාගොඩමුන්නේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහනේ අධික්ෂණ නිලධාරී  සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හර්ෂ බී. අබේකෝන් යන මහත්ම මහත්මීන් මෙහෙදී විශේෂ දේශන හා ප්‍රයෝගික වැඩසටහන් පැවැත්වුහ.

මෙහිදී පාසල් මාධ්‍ය සමාජ සඳහා සඳුන් පැල බෙදා දීම, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මේ සඳහා ප්‍රවීණ මාධ්‍යවේදීන් ඇතුලු, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.