ආදේශක තැපැල් සහායකයන් 1000කගේ සේවය ස්ථීර කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවා කටයුතු නිරීක්ෂණය කිරීමට පෙරේදා (29) එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“අලුතින් ආදේශක තැපැල් සහායකයන් 1000ක් ලියාපදිංචි කරගැනීමටත් අනුමැතිය ගත්තා. ඒ අනුව අදාළ බඳවා ගැනීම් සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු නුදුරේදීම සිදු කරනවා. ශක්තිමත් පදනමක් යටතේ රට ස්ථාවර කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ නිසා එම අරමුණ යටතේ තැපැල් දෙපාර්තමේන්තුව ද මෙහෙයවීමට කටයුතු කරනවා. සමස්ත රාජ්‍ය සේවාවේ මෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවේ ද තිබෙන පොදු ප්‍රශ්නයක් වන සේවක හිඟය සහ ප්‍රවාහන ගැටලු නිරාකරණයට දැනටමත් පියවර ගනිමින් සිටිනවා.
වසර 200ක පමණ ඉතිහාසයක් සහිත තැපැල් සේවාවේ උපතැපැල් කාර්යාල දක්වා ආදායම් ඉලක්ක දීම, නව සේවා හඳුන්වා දීම, නව තැපැල් කාර්යාල ආරම්භ කිරීම සහ නවීකරණය ආදී වශයෙන් වූ නවීකරණ කටයුතු සිදු කරමින් පවතිනවා. චීන මහජන සමූහාණ්ඩුවේ පරිත්‍යාගයක් වශයෙන් ලැබුණු මධ්‍යම තැපැල් හුවමාරු ප්‍රධාන ගොඩනැඟිල්ල නවීකරණයට ලක් කිරීමට සහ නවීන තාක්ෂණයෙන් බලගැන්වීමට සහාය ගැනීමට චීන තානාපතිවරයා සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.
මධ්‍යම තැපැල් හුවමාරුව දුෂ්කරතා රාශියක් සහ නොවිසඳුණු ගැටලු රැසක් මැද ක්‍රියාත්මක වෙන්නේ. මෙය වැඩ අධික, කාර්යබහුල, ක්‍රියාශීලී ස්ථානයක්. මධ්‍යම තැපැල් හුවමාරුව, තැපැල් දෙපාර්තමේන්තුවේ මෙන්ම රාජ්‍යයේ කේන්ද්‍රස්ථානයක්. තැපැල් සේවයට අවශ්‍ය කරන වටිනාකම, ගරුත්වය සහ නිසි තැන දෙමින් නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් ක්‍රමානුකූලව තැපැල් සේවාව ගොඩනැංවීම මගේ අරමුණයි. ඒ සඳහා යම් කාලයක් ගතවේවි.
ශක්තිමත් රාජ්‍ය සේවාවක් මෙරටට අවශ්‍ය වෙනවා. රටේ ආදායම දුර්වල මට්ටමක පවතින නිසා ආර්ථිකයේ වර්ධනය සමඟ බඳවා ගැනීම් ඉහළ නැංවීමට කටයුතු කළ හැකියි. රාජ්‍ය සේවාවේ පැවති අවිධිමත් බඳවා ගැනීම් ක්‍රමවේදය විධිමත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීම් ද සිදු කරනවා. රජයේ නව වැඩපිළිවෙළ තේරුම්ගෙන, අවබෝධයකින් යුතුව සියලු දෙනා එක්ව කටයුතු කර තැපැල් සේවාව නඟාසිටුවීමට අත්වැල් බැඳ ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.”
මධ්‍යම තැපැල් හුවමාරුවේ අධිකාරිනී මනෝජනී නානායක්කාර මහත්මිය:
“මධ්‍යම තැපැල් හුවමාරුවේ මාසික ආදායම රුපියල් මිලියන 277ක් පමණ වෙනවා. එම මුදලින් මිලියන 200ක පමණ ආදායමක් ලැබෙන්නේ ලිපි ආදායම් මඟින්. වත්මන් ආදායම් උත්පාදන මාර්ග වී ඇත්තේ නවීන ක්‍රමවේද වන කුරියර් සහ පාර්සල් සේවා ඇතුළු ඊ-තැපැල් සේවා නිසා නවීන තැපැල් සේවාව නවීන තාක්ෂණයෙන් බලගැන්වීමට අවශ්‍ය පසුබිම ඉහළ නැංවීමට කටයුතු සිදු කළ යුතුයි.”
මෙහිදී මෙරට තැපැල් අංශය, පාර්සල් අංශය (විදේශ), ජාත්‍යන්තර තැපෑල, ස්කෑන් අංශය, ප්‍රවාහන අංශය ඇතුළු මධ්‍යම තැපැල් හුවමාරුවේ අංශ කිහිපයක් ඇමැතිවරයා සිය නිරීක්ෂණයට ලක් කළ අතර, සේවයේ නියුතු කාර්ය මණ්ඩල ගැටලු, අදහස් සහ යෝජනාවලට සවන්දීමට ද කටයුතු කරන ලදි.
මේ අවස්ථාවට තැපැල්පති එස්. ආර්. ඩබ්ලිව්. එම්. ආර්. පී සත්කුමාර මහතා ද එක්ව සිටියේය.



