මෙරට තැපැල් සේවාවේ අනාගත ප්‍රගමනයටත්, විධිමත් සහ කාර්යක්ෂම තැපැල් සේවාවක් රටේ ස්ථාපිත කිරීමටත් උපරිම සහාය දෙන බව ආසියා පැසිෆික් තැපැල් සංගමයේ මහලේකම්, ආචාර්ය විනයා ප්‍රකාෂ් සිං මහතා පැවසීය.

මහලේකම්වරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා හමු වූ අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ මහලේකම්වරයා මෙලෙස ද කීවේය.

“මෙරට තැපැල් සේවාවට තොරතුරු තාක්ෂණය එක්කොට නව්‍යකරණය කිරීම, තැපැල් සේවාව ඩිජිටල්කරණයට ලක් කිරීම ආදී කරුණු පිළිබඳවත් අවධානය යොමු කළා.

ආසියා පැසිෆික් තැපැල් සංගමය (APPU) රටවල් 32ක සාමාජිකත්වය දරන අන්තර්ජාතික සංගමයක්. එම සාමාජික රටවල තැපැල් සේවාවේ සංවර්ධනයට අපේ සංගමය කැපවී කටයුතු කරනවා.

එම පුහුණු වැඩසටහන් ක්‍රමවත්ව සහ විධිමත්ව පැවැත්වීමට අවශ්‍ය සහාය සංගමයක් ලෙස නිබඳවම දීමට කටයුතු කරනවා. මෙරට ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල, ජාතික තැපැල් කෞතුකාගාරය ලෝක තැපැල් ක්ෂේත්‍රයේ අභිමානවත් සලකුණු. එවැනි අභිමානවත් ස්ථාන ආරක්ෂා කරගැනීම අප සැමගේ වගකීමක්. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තැපැල් සේවාව ඉතා විශිෂ්ට අයුරින් ජනතාවාදීව සේවාලාභී තෘප්තිය ඇති වන ආකාරයෙන් සිදු කරන බව මට නිරීක්ෂණය වුණා. තැපැල් සේවාවේ අනාගත අභිවෘද්ධියට භෞතික සහ මානව සම්පත් ප්‍රවර්ධනය අරභයා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍යමය සහායත්, අනෙකුත් සහායත් දෙනවා.

ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා

ශ්‍රී ලංකා තැපැල් සේවය යටතේ සේවය කරන සියලුම කාර්ය මණ්ඩලයේ වෘත්තීය ප්‍රවර්ධනයට හැකියාව වර්ධන පුහුණු වැඩසටහන් ප්‍රමුඛව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කර තියෙනවා. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සේවාලාභී තෘප්තිය උපරිම තලයකට ගෙන ඒමට නවීන තාක්ෂණය ද උපයෝගී කර ගනිමින් වඩාත් නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වසනීය තැපැල් සේවාවක් ගොඩනැඟීමට රජය සැලසුම් කර තිබෙනවා. එයට සමගාමීව මෙරට ස්ථාපිත ප්‍රධාන තැපැල් කාර්යාල සංවර්ධනය කිරීමේ සැලසුම් ක්‍රියාවට නංවා තිබෙනවා.

මෙරට ක්‍රියාත්මක තැපැල් සේවාව වසර 200කට අධික දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනවා. මෙවැනි අර්ථවත් හමුවීම්වලින් කලාපීය තැපැල් සේවා සබඳතා වැඩිදියුණු කරගැනීමටත්, ශ්‍රී ලංකා තැපෑලට ජාත්‍යන්තර ව්‍යාපාරික අවස්ථා ගැනීමටත් එමඟින් ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රවර්ධනයටත් රුකුලක් ලැබෙනවා.”