හදිසි වෛද්‍ය ප්‍රතිකාර රෝහල් වලට පමණක් සීමා කළ නොහැකි බවත්, අවශ්‍යතාවය ඇති ස්ථානවල ස්ථාපිතව සියලු ජනතාව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ වාර්ෂික අධ්‍යයන සම්මේලනයට සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (Sri Lanka College of Emergency Physicians – SLCEP) වාර්ෂික අධ්‍යයන සම්මේලනය – 2025 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැත්විණි.

එම සම්මේලනයට සහභාගි වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස, හදිසි ප්‍රතිකාර පිළිබද වෛද්‍ය සේවාව රෝහල්වලට පමණක් සීමා කළ නොහැකි බව හඳුනා ගෙන ඇති බවත්, එය අවශ්‍යතාවය ඇති සියලු ස්ථානවලටව්‍යාප්ත විය යුතු බවත් පෙන්වා දෙන ලද අතර, එම සේවා කටයුතු රෝහල්වල නිශ්චිත සත්කාර දක්වා බාධාවකින් තොරව ඉදිරියට යා යුතු බව ද පැවසී ය. ඒකාබද්ධ වූ ක්‍රමවේදයක් තුළ නිවසේ සිට රෝහල දක්වා ශක්තිමත් හදිසි සත්කාර පද්ධතියක් ගොඩනැගීම රජයේ අරමුණ බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම වැඩපිළිවෙල ප්‍රාථමික සෞඛ්‍ය සේවා උපාය මාර්ග තුළට ද ඇතුළත් කර ඇති බවත්, ඊට සැමට ප්‍රවේශ විය හැකි බව ද මෙම දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා රජය තීරණාත්මක පියවර රැසක් ගනිමින් සිටින බව ද පැවසී ය.

“ශ්‍රී ලංකාව පුරා හදිසි ප්‍රතිකාර වෛද්‍ය විද්‍යාවේ අනාගතයට පාලමක්” (Bridging the Future of Emergency Medicine Across Sri Lanka) යන්න තේමා පාඨය කරමින් මෙවර වාර්ෂික අධ්‍යයන සම්මේලනය පැවැති අතර, ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාරපිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය (SLCEP) විසින් ජාත්‍යන්තර ආරාධිත විශේෂඥයින් සහ දේශීය වෘත්තිකයන්ගෙන් සමන්විත කීර්තිමත් විද්වත් මණ්ඩලයක් එක්රැස් කරමින්, අධ්‍යයන හුවමාරුව, සායනික අවබෝධය සහ සහයෝගී ඉගෙනීම වැනි හදිසි ප්‍රතිකාර වෛද්‍ය විද්‍යාවේ නවතම වර්ධනයන් සහ තීරණාත්මක මාතෘකා කෙරෙහි අවධානය යොමු කරමින් මෙම වාර්ෂික අධ්‍යයන සම්මේලනය පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ 2025 වාර්ෂික අධ්‍යයන සම්මේලනය එක්වීමට ලැබීම ගෞරවයක් බව මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලොව පුරා කාර්යක්ෂම පමණක් නොව, සාධාරණ සහ ඔරොත්තු දීමේ ශක්තියෙන් හෙඹි සෞඛ්‍ය පද්ධතියක් සඳහා වන ගමනේ දී බොහෝ විට සම්බන්ධතාවයේ පළමු ස්ථානය ලෙස මෙන්ම බොහෝ අවස්ථාවන්හි දී අවසාන ආරක්ෂක මාර්ගය ලෙස ද හදිසි සත්කාර සේවා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව ද පෙන්වා දෙන ලදි.

එම වැඩපිළිවෙළ තුළ පළමුව බිම් මට්ටමේ ධාරිතා වර්ධනය සඳහා ආයෝජනය කරමින් සිටින බවත්, කුඩාම පර්යන්ත රෝහල් පවා කාලෝචිත හදිසි ප්‍රතිකාර ලබාදීමට හැකිවන අයුරින් ශක්තිමත් කර ඇති බවට සහතික වන බව ද පැවසී ය. සෑම පුරවැසියෙකුටම, ස්ථානය කුමක් වුවත්, මූලික සත්කාර ලබා ගැනීමට හැකි විය යුතු බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා දෙවනුව හදිසි සත්කාර පද්ධතියේ සියලුම මට්ටම් හරහා සැලසුම් කිරීම, නියාමනය, පුහුණුව සහ සේවා සැපයීම සඳහා නායකත්වය, සම්බන්ධීකරණය සහ අඛණ්ඩතාව සැපයීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය සමඟ සමීපව කටයුතු කරන බව ද පැවසී ය.

තෙවනුව, රෝහලේ පමණක් නොව, අනතුරුවැළැක්වීමේ සහ පුනරුත්ථාපනය සහ සුවතාවය සඳහා මුළු ජාතියටම ක්‍රියාත්මක වන නවීන, මනා සම්බන්ධීකරණයකින් යුත් මෙන්ම ජනතාව කේන්ද්‍ර කරගත් හදිසි සේවාවක් සංවර්ධනය කිරීම සඳහා අපගේ ශක්තිමත් සහ අඛණ්ඩ කැපවීම තහවුරු කරන බව ද අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දෙන ලදි.
මෙරට සෞඛ්‍ය සේවාවේ හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්, හෙදියන්, පරිපූරක වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයින්ගේ කැපවීමකින් තොරව ඉහත කටයුතු කිසිවක් කළ නොහැකි වනු ඇති බවත්, ඉහත වෘත්තිකයින් සෞඛ්‍ය පද්ධතියේ කොඳු නාරටිය බව ද අධික අවදානම් සහිත පරිසරයක, අතිමහත් පීඩනයක් යටතේ වෙහෙස නොබලා සිදු කරනු ලබන සේවාව ඇගයීමට ලක් කරන බව ද පැවසී ය.

වෛද්‍යවරුන් පමණක් නොව, හෙදියන් ඇතුළු බහු-වෘත්තීය හදිසි සත්කාර කණ්ඩායම් සංවර්ධනය කිරීම සඳහා දක්වන කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයට ප්‍රශංසාව සහ සුබපැතුම් එක් කරන බවත්, ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ මෙන්ම වෘත්තීය ආයතනවල සහ සහයෝගීතාවයට ද බෙහෙවින් කෘතඥ වන බව ද පැවසී ය.

මෙම සම්මේලනය විද්‍යාත්මක රැස්වීමකට වඩා හදිසි ප්‍රතිකාර සත්කාරවල අනාගතය හැඩගැස්වීමට – නවෝත්පාදනයන් බෙදා ගැනීමට, හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීමට සහ සියලු දෙනා විශ්වාසය තබන පද්ධති ශක්තිමත් කිරීමට අවකාශයක් බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවැසී ය.

මෙම සම්මේලනයේ දි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, හදිසි වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපදේශක, දකුණූ ආසියානු හදිසි වෛද්‍ය සහයෝගීතාවයේ සභාපති සහ එක්සත් රාජධානියේ හදිසි වෛද්‍ය විද්‍යාව පිළිබඳ රාජකීය විද්‍යාලයේ හිටපු සභාපති වෛද්‍ය ටඡ් හසන් (Dr.Taj Hassan,ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභාපති වෛද්‍ය ඉනුක විඡේගුණවර්ධන යන මහත්වරුන් ද අදහස් දක්වන ලදි.
මෙහිදී හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන්ට හදිසි ප්‍රතිකාර සහ රෝග තත්ත්වයන් පිළිබඳව මෙන්ම ඉදිරි ප්‍රතිකාර කටයුතු පිළිබඳව තොරතුරු ලබාගත හැකි “Emergency Life Support” මෘදුකාංගය (App) දියත් කිරීම ද සිදු කරන ලදි.

ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය (SLCEP) යනු ශ්‍රී ලංකාවේ හදිසි පුතිකාර පිළිබඳ වෛද්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා කැප වූ ප්‍රමුඛතම වෘත්තීය ආයතනයයි. අධ්‍යාපනය, පර්යේෂණ, උපදේශනය සහ ශක්තිමත් සාමාජික සහයෝගය තුළින්, හදිසි සත්කාර ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම, නවෝත්පාදනයන් පෝෂණය කිරීම සහ සැමට ඔරොත්තු දෙන සෞඛ්‍ය සේවා පද්ධතියක් හැඩගැස්වීම සඳහා ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය කැපවී සිටී.

මෙම අවස්ථාවටඕස්ට්‍රේලියානු හදිසි ප්‍රතිකාර පිළිබඳ වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ හදිසි කාර්ය මණ්ඩල විශේෂඥ වෛද්‍ය සූ ලෙරාසි (Dr. Sue Leraci), සිංගප්පූරුවේ සහකාර මහාචාර්යවරියක් සහ ජ්‍යෙෂ්ඨ උපදේශකවරියක් මෙන්ම හදිසි ප්‍රතිකාර පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ ආසියාවේ කලාපීය නියෝජිතවරියක්ද වන සහකාර මහාචාර්ය අයිලින් සීඕව්(Associate Professor ElillyneSeow), ඉන්දියාවේ හදිසි වෛද්‍ය විද්‍යාව සඳහා වූ සංගමයේ විධායක සභාපති සහ හදිසි වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපදේශක වෛද්‍ය ඉම්රොන් සුභාන්(Dr.ImronSubhan), ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේලේකම් වෛද්‍ය නඩරාජා ප්‍රසන්න, හදිසි වෛද්‍ය ඡ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ඉන්දික ද ලැනරෝල් යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.