සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යං­ශයේ, ජනමාධ්‍ය අංශය වාර්ෂි­කව ක්‍රියා­ත්මක කරන “ඇසි­දිසි” ජන­මාධ්‍ය ශිෂ්‍ය­ත්වය පිරි­නැ­මීමේ උත්ස­වය සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සහ අමා­ත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහ­තාගේ සහ­භා­ගි­ත්ව­යෙන් හෙට (22) සවස 3.00ට පොල්හේ­න්ගොඩ ජන­මාධ්‍ය අංශ ශ්‍රව­ණා­ගා­රයේ දී පැවැත්වේ.

විසිඑක් වන සියවසේ අභියෝගයන්ට සාර්ථකව මුහුණදෙනු වස් ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසලතාවයෙන් හා ආකල්පමය වශයෙන් සන්නද්ධ කරමින් වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම උදෙසා පුහුණු පාඨමාලා මඟින් තම වෘත්තීය කුසලතා වර්ධනය කර ගැනීමට ඉඩ ප්‍රස්ථා සලසාදීම "ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව" වැඩසටහනේ මුලික අරමුණයි.

දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල වසර 03 ක සේවා කාලයක් සපුරා ඇති පූර්ණකාලීන හෝ අර්ධ කාලීන පදනම මත සේවයේ නියැළී සිටින, වයස අවුරුදු 18-55 ත් අතර මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, වෙබ් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය තාක්ෂණික ශිල්පීන්ට ආපසු නොගෙවන පදනම යටතේ මෙම ශිෂ්‍යත්ව ලබා දෙනු ඇත. තව ද, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන් සඳහා නිකුත් කරන මාධ්‍යවේදී හැඳුනුම්පත ලබා තිබිය යුතු වේ.

උපාධි, පශ්චාද් උපාධි පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ දෙකක (200,000.00)  උපරිම මුදලක් ද, කෙටි කාලීන හෝ දිගු කාලීන සහතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා රුපියල් ලක්ෂයක (100,000.00) උපරිමයකට යටත්ව මෙම ශිෂ්‍යත්ව මුදල ලබාදේ. ශිෂ්‍යත්වලාභීන්ට පිළිගත් විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපනික පුහුණු ආයතන මඟින් පවත්වනු ලබන මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව  පාඨමාලා හැදෑරිය හැක.

ශිෂ්‍යත්වලාභියාගෙන් කිසිදු මුදලක් අය නොකර රජය විසින් ලබාදෙන මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ මාධ්‍යවේදීන්ට දෙවරක් ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, පළමු අවස්ථාවේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ ජනමාධ්‍යවේදීන්ට වසර 05ක් ඉක්මගිය පසු දෙවන අවස්ථාව සඳහා අයදුම් කළ හැකිය.

ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලබන මාධ්‍යවේදීන්ට පාඨමාලාව සඳහා වන ගාස්තුවෙන් 50% ක් පාඨමාලාව ආරම්භයේදී පළමු වාරිකය ලෙසත්, 25% ක් පාඨමාලාවේ දෙවෙනි වාරිකය ලෙසත්, ඉතිරි 25% පාඨමාලාව සම්පූර්ණ කර සහතික ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගෙවීම සිදු කරයි.

ජන­මාධ්‍ය අමා­ත්‍යං­ශයේ ලේකම් විසින් පත් කරන ලද තේරීම් කමි­ටු­වක් විසින් අය­දු­ම්ක­රු­වන් සම්මුඛ පරී­ක්ෂ­ණ­යට භාජ­නය කර 2025 වර්ෂය සඳහා ප්‍රති­ලා­භීන් 61 දෙනෙක් තෝරා­ගෙන ඇත.