මෙරට සෞඛ්‍ය පද්ධතිය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සිදු විය යුතු සංවර්ධනය වෙනුවෙන් බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව ශක්තිමත් කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන බවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පවසා ඇත.
මෙරට සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ තාක්ෂණ දායකත්වය ලබාදීමට ද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා මෙහිදී එකඟතාව පළකර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් (Andrew Patrik) මහතා අතර හමුවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහිදී මේ එකඟතාවන් ප්‍රකාශයට පත්කර තිබේ.
මේ හමුවේදී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය නඟාසිටුවීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළ ගැනත්, මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය වර්තමානයේ මුහුණ දෙන අභියෝග ගැනත්, මෙරට රජයේ රෝහල් පද්ධතියට නවීන වෛද්‍ය උපකරණ ස්ථාපිත කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳවත් අවධානය යොමු කරමින් සාකච්ඡා සිදුකර තිබේ.
මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය වර්තමානයේ මුහුණ දෙන අභියෝග පිළිබඳවත්,මෙරට රජයේ සෞඛ්‍ය පද්ධතියෙන් ජනතාවට රෝගී සත්කාර සේවාවන් විධිමත්ව, කාර්යක්ෂමව පවත්වාගෙන යෑමට වෛද්‍ය උපකරණවල යම් අවශ්‍යතාවක් පවතින බව ඇමැතිවරයා මෙහිදී තානාපතිවරයාව දැනුම්වත් කර තිබේ. මෙරටට අවශ්‍ය වෛද්‍ය උපකරණ, තාක්ෂණය මෙන්ම සේවා කටයුතු සැපයීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට තානාපතිවරයා මෙහිදී එකඟතාව පළකර සිටියේය.
වෛද්‍යවරුන්,හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වෘත්තීය සේවා ප්‍රවර්ධනය වෙනුවෙන් පුහුණු වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම ගැනත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක සේවා සවිබල ගැන්වීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන දීපව්‍යාප්තව ස්ථාපිත කිරීමේ සහ ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ගැනත්,සෞඛ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ නවීන තාක්ෂණයෙන් යුත් සෞඛ්‍ය සේවාවක් මෙරට ස්ථාපිත කිරීමට රජයේ සැලසුම් සහගත වැඩපිළිවෙළ ගැනද සෞඛ්‍ය ඇමැතිවරයා මහ කොමසාරිස්වරයාට මෙහිදී කරුණු පැහැදිලි කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.



