රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීම සහ සංවිධිත බව පවත්වාගෙන යෑම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කරන (සෙයිරි සතිය) අදින් (01) ඇරඹේ. සියලු රාජ්‍ය ආයතනවල අද (01) සිට ලබන 4 දා දක්වා සෙයිරි සතිය ක්‍රියාත්මකය.
සෙයිරි යනු ඵලදායිතාව පිළිබඳ පංචවිධ සංකල්පයට අනුව සංවිධිත බවය. අවශ්‍ය දෑ සහ අනවශ්‍ය දෑ හඳුනා ගැනීම හා අනවශ්‍ය දේ බැහැර කිරීම එහි අරමුණ වේ.
ඒ අනුව සෑම ආයතන ප්‍රධානියකු විසින්ම මෙම සතිය තුළ සෑම දිනකම උදේ වරුවේ පැය දෙකක කාලයක් ආයතනයේ ගොඩනැඟිලි ඇතුළත පිටත සහ ගොඩනැඟිලිවලින් බාහිර පරිසරය මනාව පවත්වා ගැනීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා පවසයි.
මේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය සහිතව ලේකම්වරයාගේ අත්සනින් විශේෂ චක්‍රලේඛයක් ද නිකුත් කර ඇත. චක්‍රලේඛයට අනුව ආයතන පරිශ්‍රයේ මෙන්ම ආයතන ඉදිරිපස ඇති මාර්ග දෙපස සුන්දර පරිසරයක් නිර්මාණය වන ආකාරයට පවත්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතුය. විශේෂයෙන්ම ආබාධිත ප්‍රජාවට අවශ්‍ය පහසුකම් නිර්මාණය කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
රාජ්‍ය ආයතනවලට අයත් පරිශ්‍ර ප්රශස්තව උපයෝජනය සඳහා අවශ්‍ය පියවර ගත යුතු අතර ඉඩම්වල හැකි සෑම ස්ථානයකම පරිසර හිතකාමී වනගහනයක් පවත්වා ගැනීමට අවශ්‍ය කටයුතු ඇරඹිය යුතුය. රාජ්‍ය ආයතනවල පොලිතින් භාවිතය අවම කිරීම හා ඒවා නිසි පරිදි බැහැර කිරීමට අවශ්‍ය පියවර ගතයුතුය. රාජ්‍ය ආයතන පරිශ්‍රවල අනාරක්ෂිත හා පිළිසකර කළ යුතු අවදානම් සහිත ස්ථාන ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීමට කටයුතු කළ යුතුය.
සෙයිරි සතිය අවසන් වුවද කාර්යාලීය පරිසරය ස්ථායීව හා සංවිධිතව පවත්වාගෙන යෑම සඳහා ක්‍රමවේදයක් ගොඩනැඟීම හා ඒ වෙනුවෙන් ආයතන ප්‍රධානියා සුදුසු නිලධාරියෙක්ට වගකීම් පවරා ක්‍රමවේදයක් යටතේ පවත්වාගෙන යෑම අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව ද එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.



