‘නිල් අහසක් සඳහා පිරිසුදු වාතය’ ජාත්‍යන්තර දිනය ඊයේ (07) දිනට යෙදී තිබූ බැවින් ඊට සමගාමීව ලේක්හවුස් ආයතනයේ ටියුනප් කඳවුරක් පසුගිය 04 වැනිදා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
මෙහිදී ලේක්හවුස් ආයතනයේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ද, සේවක සේවිකාවන්ගේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා ද මේ කඳවුර මඟින් සිය සේවා දීමට කටයුතු කළහ. වායු විමෝචන භාරකාර අරමුදලේ සේවක මහත්වරු ද, ඩේවිඩ් පීරීස් සමාගමේ සේවක මහත්වරු ද එක්ව වාහන සුසර කිරීම සඳහා වූ මේ ටියුනප් කඳවුර පැවැත්වූහ.
මෙහිදී අදහස් දැක්වූ වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා මෙලෙස පැවසීය.
‘නිල් අහසත් සඳහා පිරිසුදු වාතය’ කියන ජාත්‍යන්තර දිනය 2020 වසරේ තමයි ප්‍රකාශයට පත් කළේ. මුළු ලෝකයම මේක සිහිපත් කරමින් සැප්තැම්බර් මස 07 වැනිදා එය සමරනවා. වායු දූෂණයෙන් සෑම වසරකදීම ලක්ෂ අසූවකට වැඩි පිරිසක් මරණයට පත්වෙනවා. වායු දූෂණය නිසා අකල් මරණ සිදු වෙනවා. අද වන විට ලෝකයේ තියෙන පළමුවැනි සෞඛ්‍ය තර්ජනය වායු දූෂණය.
මේ තත්ත්වය අවම කරන්න සමස්ත ලෝකයම එකතු වෙලා වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕනෙ. දරුවන්ට පිරිසුදු වාතය අවශ්‍යයි. වායු දූෂණයට සීමා මායිම් නෑ. ඕනෑම රටක ඇති වන වායු දූෂණය සුළං හරහා එන්න පුළුවන්. මේක හැමෝම එකතු වෙලා අවම කරන්න ඕන වැඩක්. අපට මේකෙන් බේරෙන්න බෑ. ඒ නිසා මේ දිනයට සමගාමීව ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන භාරකාර අරමුදල වාහන සුසර කිරීමේ වැඩසටහන් පවත්වනවා.”
ලේකහවුස් ආයතනයේ අධ්‍යක්ෂ මෙහෙයුම් චාමර පීරිස් මහතා
“අපට මීට කලින් කාර්මික විප්ලවයක් තිබුණේ නෑ. ඒ නිසා මිනිසුන්ගේ ජීවන රටාව තිබුණේ වෙන විදිහක. ලෝකය නවීකරණය වෙනවා කියන්නේ දැන් සැප සේ දුක විඳින එක. ඇත්තටම වෙලා තියෙන්නේ ඉස්සර අපි දුක සේ සැප වින්දා. දැන් අපි දියුණුවේ ප්‍රතිඵලයක් හින්දා සැප විඳිනවා. අපේ පරම්පරාවට එනකොට තමයි මේකේ ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ. ඔක්කොම අහස අළු පාට වෙලා. විමෝචනය හැම තැනටම ඇවිල්ලා. ඇත්තටම දැනටමත් පරක්කු වැඩියි. සමහර පැතිවලින් වායුව එනවා. මිනිස්සු ලෙඩ වෙනවා. එම නිසා මේ වගේ වැඩ තව තවත් සිදු කර රට ක්ලීන් කර ගන්න පුළුවන් නම් අපට පෙණහලු පරිස්සම් කරගෙන ජීවත්වෙන්න පුළුවන්.”
මේ අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල, ප්‍රවාහන කළමනාකරු අරුණ රූපසිංහ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ලේකම් චසිත බුලත්සිංහල මහත්වරු සහභාගි වූහ.



