1949 සිට මේ දක්වා ඉතිහාසයේ දිගු ගමනක් පැමිණි රජයේ චිත්‍රපට අංශයට නිසි ඇගයීමකට ලක්විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (16) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ චිත්‍රපට හා ඩිජිටල් සංරක්ෂණ ඒකකය ප්‍රතිසංස්කරණයෙන් පසු විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ අප මේවන විට ආර්ථිකයේ යම් ස්ථාවරත්වයක් ඇතිකරමින් සිටින බවයි. වත්මන් ආණ්ඩුව මෙරට සංවර්ධන රාජ්‍යයක් බවට පත්කරමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසීය. මෙම අවස්ථාව ඓතිහාසික සහ වැදගත් අවස්ථාවක් බවත් මෙහි වටිනාකම තව දශක කිහිපයකින් රට තේරුම් ගනු ඇතැයි ද ඔහු පැවසීය. එමෙන්ම පාසල් දරුවන්ට මෙන්ම තරුණ තරුණියන්ට මෙම ස්ථාන විවෘත කළයුතු බවත් ඔහුකීය. තවද, මෙම ආයතනයේ ඉදිරිකටයුතු සඳහා අයවැය මගින් තවත් ප්‍රතිපාදන සපයන බවත් සංරක්ෂණය සදහා නව පුහුණු අවස්ථා ලබාදීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.

රුපියල් මිලියන 06කට වඩා අඩු මුදලක් වැයකරමින් මෙම සංරක්ෂණාගාරය ප්‍රතිසංස්කරණය සිදුකර ඇත.1949 සැප්තැම්බර් 17 ඇරඹි රජයේ චිත්‍රපට අංශය සිනේ මාධ්‍ය, ඩීවීඩි මාධ්‍ය සහ ඩිජිටල් මාධ්‍ය මගින් නිර්මාණය කරන ලද සහ නිෂ්පාදනය කළ සහ සංරක්ෂණාගාරයේ පැවති වටිනා නිර්මාණ රැසකින් සමන්විත වේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ හයවන ඉන්ජිනේරු සේවා බළකාය මගින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ.