එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමු­ළු­වට සහ­භාගි වීම සඳහා අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ නිව්යෝර්ක් නුවර බලා ඊයේ (22) රාත්‍රියේ පිටත්ව ගිය ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා එම සංචා­රය නිමවා ලබන 27දා ජපා­නය බලා පිටත්ව යෑමට නිය­මි­තය.

ශ්‍රී ලංකා – ජපාන මිතු­දම තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් ජපන් රජයේ ආරා­ධ­න­ය­කට අනුව තෙදින නිල සංචා­ර­යක් සඳහා ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෙලෙස ජපා­නය බලා යනු ඇත.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩ­ලයේ 80 වැනි සැසි­වා­රය ජනා­ධි­ප­ති­ව­රයා විසින් හෙට (24) අම­තනු ලබන අතර එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ මහා ලේක­ම්ව­රයා සහ ලෝක රාජ්‍ය නාය­ක­යන් කිහි­ප­දෙ­නකු සමඟ ද්විපා­ර්ශ්වික සාක­ච්ඡා­ව­ලට එක් වීමට ද නිය­මි­තය. අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ වෙසෙන ශ්‍රී ලාංකි­ක­යන් සමඟ හමු­ව­කට ද සහ­භාගි වනු ඇත. පසුව ජපා­න­යට යන ජනා­ධි­ප­ති­ව­රයා එළැ­ඹෙන 30දා තෙක් ජපා­නයේ රැඳී සිටින අතර ජපන් අධි­රා­ජ්‍යයා හමු වීමට නිය­මි­තය. ශ්‍රී ලංකා ජනා­ධි­ප­ති­ව­රයා විසින් ජපන් අග­මැ­ති­ව­රයා සමඟ අන්‍යොන්‍ය වශ­යෙන් වැද­ගත් කරුණු ගණ­නා­වක් පිළි­බ­ඳව අව­ධා­නය යොමු කෙරෙන සමුළු රැස්වී­මක් ද පැවැ­ත්වී­මට නිය­මිත බව එම අමා­ත්‍යාං­ශය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ වර්ධ­නය වන ආර්ථික අවස්ථා කෙරෙහි අව­ධා­නය යොමු කර­මින්, ටෝකි­යෝවේ ප්‍රමු­ඛ­තම ජපන් ව්‍යාපාර සහ ආයෝ­ජ­ක­යන්ගේ, ඉහළ පෙළේ නියෝ­ජි­ත­යන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් පැවැ­ත්වෙන ව්‍යාපා­රික සංස­ද­යක් ඇමැ­තී­මට ද ජනා­ධි­ප­ති­ව­රයා එක්වනු ඇත.

2025 එක්ස්පෝ ප්‍රද­ර්ශ­නයේ ශ්‍රී ලංකා දින­යේදී, ජපන් රජයේ ආරා­ධි­ත­යකු ලෙස, “එක්ස්පෝ 2025 ඔසාකා” (EXPO 2025 Osaka) ප්‍රද­ර්ශ­නය සඳහා ද ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ­භාගි වීමට නිය­මි­තය.

මෙම ප්‍රද­ර්ශ­නයේ අර­මුණ වන්නේ ජාත්‍ය­න්තර ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාවේ සංස්කෘ­තික උරු­මය සහ ආර්ථික හැකියා විදහා දැක්වී­මයි. ජනා­ධි­ප­ති­ව­රයා, ජපා­නයේ වෙසෙන විදේ­ශ­ගත ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමා­ජි­ක­යන් ද ඇම­තී­මට නිය­මි­තව තිබේ. ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සමඟ විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීහු පිරි­සක් මෙම සංචා­ර­යට සහ­භාගි වෙති.

ජනා­ධි­ප­ති­ව­ර­යාගේ මෙම ජපන් සංචා­රය ඔස්සේ දෙරට අතර ඇති දිගු­කා­ලීන මිත්‍ර­ත්වයේ සහ සහ­යෝ­ගි­තාවේ බැඳීම් තව­දු­ර­ටත් තහ­වුරු කරනු ඇති බව ද විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය විශ්වා­සය පළ කරයි.